Tuesday, September 3, 2024

බුබුළු දමනා පරණ වැහි බිඳු


බුබුළු දමනා පරණ වැහි බිඳු එපා මගෙ හිත තෙමන්න
වලා ගඟුලට එහා මුදු රිවි පබා සඟවා තබන්න
මතක වත් 'විත් තෙමන විට හිත් ශෘංගාර කවි ලියන්න
බුබුළු දමනා පරණ වැහි බිඳු එපා මගෙ හිත තෙමන්න

පරණ පාසල් වත්තෙ ඉහිරුණු දුටු සතුටු මල් නෙළන්න
උරණ වී ඇති මතකයට බැහැ උදා වැස්සට තෙමෙන්න
අගුළු ලා ඇති අරණකට බැහැ කුසුම් උයනක් ගෙනෙන්න
බුබුළු දමනා පරණ වැහි බිඳු එපා මගෙ හිත තෙමන්න 

බුබුළු දමනා පරණ වැහි බිඳු එපා මගෙ හිත තෙමන්න
වලා ගඟුලට එහා මුදු රිවි පබා සඟවා තබන්න
මතක වත් 'විත් තෙමන විට හිත් ශෘංගාර කවි ලියන්න
බුබුළු දමනා පරණ වැහි බිඳු එපා මගෙ හිත තෙමන්න

https://youtu.be/HCM_gk7R4aY

Shasika Amali Munasinghe
Painting - Claude Monet

Tuesday, August 20, 2024

ඔබ ඉරා දැමු කල හදවත කවි ගලන සැමොවාරයක්

 

ඔබ ඉරා දැමු කල හදවත කවි ගලන සැමොවාරයක්

හිම සූරයි වීදුරු කවුළුපත් - වැළපෙන වලාකුළු හිම කෙත්
තිරිඟු අහුරක් විසි කරන කුඩා කෙල්ලන් පේළියක්
අඳුරු බිඳලන ඔබේ ඇස් මත දිලෙන සුනිවෙන පළිඟුවක්
ඔබ ඉරා දැමු කල හදවත කවි ගලන සැමොවාරයක්
ඔබ ඉරා දැමු කල හදවත කවි ගලන සැමොවාරයක්

https://youtu.be/8yKCl8YyFMg

Shasika Amali Munasinghe
Picture - Replicate

Tuesday, August 13, 2024

මා ඔබට පෙම් නොකළ එකදු දිනයක් නොවේ

ගංගා ගලායද්දී කලුවරෙහි කඳුකරේ
දුහුල් හිම කැටි බිඳී විසි වුණා කවි එළී
උදුල සඳෙළිය ගලා කඩදාසි නගරයේ
මා ඔබට පෙම් නොකළ එකදු දිනයක් නොවේ

ඔබ යනෙන මාවත් මා නොහඳුනනා 'මුත්
උදෑසන රාත්‍රිය පවා වෙනසක් 'මුත්
වැරෙන් අත මිරිකා ආදරේ බව ලියූ
කඳුකරේ මතකයම එදා වගෙ තව අලුත්


Thursday, March 7, 2024

ආකාශ වස්තුව

 
"එකයි එකයි එකතු වුණාම එකයි වෙන්නෙ කොහොමද කියල දන්නවද?" ආකාශ් පරණ උස බරාද කුළුණකට හේත්තු වීගෙන රායාගෙන් ඇහුවෙ හිනා වෙවී. ඔහුගේ කඩවසම් පුළුල් උරහිස් හිනාවත් එක්ක තාලයකට උස් පහත් වුණා. "ඔව්" කියමින් සුදු තට්ටු රැළි ගවුමක් වටයක් කැරකුණා. "..? කියන්න බලන්න එහෙනං. මං හිතුවෙ ඔයා පොඩි ළමයෙක් කියල" ඔහු පැත්තට අඩියක් තැබුවා. "ඔන්න අහගන්න.. ‘එක හිත දෙතැනක නතර වෙලා.. ඔබේ හිතයි මගේ හිතයි දෙසිතම එකම සිතක් වීලා..’" රායා තාලයකට කිව්වා. ඒක අහපු ආකාශ් හරියටම දෙකට නැවිල බඩ අල්ලගෙන හිනා වෙන්න ගත්තා.
 
ආකාශ්ට හිටිය ගෑණු ළමයි ගණන ආකාශ්වත් දන්නවද දන් නෑ.. ගෑණු ළමයිමත් නෙමේ සමහරු ගෑණු! ඒත් රායා තමයි එයාගෙ මිටියාවත වුණේ! රායා දැනන් හිටියා අනෙක් ගෑණු ළමයි වගේ ආකාශ්ව අයිති කර ගන්න නම් එයාට පාත් බිම් වල සියලු විපත් දිහා බලාගෙන නොසැලී ඉන්න කන්දක් වගේ වෙන්න වෙනව කියල. ඒත් එයා හිතන්න බය වුණා එයාට කොච්චර කාලයක් කන්දක් වෙන්න පුළුවන්ද කියල.
 
ආකාශ්ට තිබුණා රායා ගැන ආදරයක්, එයාට තිබුණු එකම ආදරය ඒක නොවුණත්. ඈත මිනිස් පා පහස නොලද කඳුකරයක උපන් සිලිලාරයකින් දිය දෝතක් අතට ගත්තම දැනෙන පිරිසිදු ගතිය දන්නවනෙ, අන්න විදිහෙ ආදරයක් රායා ගැන ආකාශ්ට තිබුණෙ. අතරින් පතර ඇසුරු කළ ගෑණු ගැන වචනයක්වත් එයා රායාට නොකිව්වත් එයාට මුණගැහුණු එයාගේ ගෑණු ළමයි ගැන හුඟක් දේවල් එයා කිව්වෙ රායත් එක්ක
 
සමහර ගෑණු ළමයි එයාට කවියක් තෑගි දුන්නම එයා රායා දිහාවට ආවෙ කාන්දමක් වගේ. කාටත් වඩා එයාගෙ කවිකාරිය වුණේ රායා. රායා ඉතින් ඒවා කියවල වර්ණනා කරන්න ගියෙත් නෑ. ලාවට හිනා වුණා විතරයි. ලැන්ග්ස්ටන් හියුස් ගෙ කවිවල ඉඳල බර ගණනක ලස්සන කවි කියවල විඳල තිබුණු රායාට කවි පෙනුණෙ කවි විදිහටමත් නෙමෙයි. ඒ එක ගෑණු ළමයෙක් දුන්නු කවියක් තමයි එයාගෙ ලොකර් එකේ අලවලා තිබුණෙ. ඒකට ඊර්ෂ්යා කරන්න තේරුණෙත් නෑ රායට.
 
ආකාශ්ගෙ කඳුකර බංගලාවෙ අතිරේක නිදන කාමරයක බිත්තියට හයි කරල තිබුණු ලොකර් එක එයාගෙ පුංචි පුංචි සිහිවටනවලින් පිරිල තිබුණා. එයාගෙ ඉස්කෝලෙන් ලැබුණු පුංචි පුංචි දේවල්, උපන්දින සුබ පැතුම්පත්, යාළුවන්ගෙන් ලැබුණු පුංචි පුංචි තෑගිවලින් පිරිල තිබුණු මිහිරි රහස් ගබඩාවක් වගෙයි ඒක. ආකාශ් වගේ කෙනෙක් එහෙම ලොකර් එකක් තියාගෙන ඉන්න එක ගැන රායා මුලින් පුදුම වුණත් රායාට වැඩිපුරම ගනුදෙනු කරන්න ලැබුණෙ ආකාශ්ගෙ හිතේ මුදු මොළොක් කලාපය ත් එක්ක නිසා පස්සෙ ඒ ගැන රායාට පුදුමයක් තිබුණෙත් නැහැ.
 
"මං ඔයාට දෙන්න කවියක් තියාගෙන හිටියා.. ඒත්, මට පස්සෙ හිතුණා ඒක ඔයාට සැර වැඩියි කියල" දවසක් එයා ලොකර් එක ඇතුළින් කවියක් ඇදල අරගෙන අතේ ගුලි කරගත්තා. "කෝ කවිය..?" රායා ඇහුවා. ඔහු කාලයක් තිස්සේ එකතු කරගෙන තිබුණු කවි ගොන්නක් පොතක් අතරින් ඇදල ගත්තා. රායා විපරීත බැල්මෙන් ඔහු දිහා බලන් හිටියා. "ඔයා කවි කියවනවා!" රායා මිමිණුවා. එයා ආකාශ් කවි කියවන බවක් මුලින්ම දැන ගත්තෙ එදා.  "හ්ම්.." එයා හිනා වෙවී රායා දිහා බලන් හිටියෙ. "හරි ඔයා කවිකාරිනෙ.. කියන්න බලන්න එහෙනම්, ලෙවල්වලට තිබ්බ අයියනායක කවි.." ඊළඟට එයා කිව්වා. "මට මතක නෑ. මං කවි කට පාඩම් කරන් නෑ. මතක හිටියොත් මිසක්” රායා කිව්වා. "ඔන්න අහගන්න එහෙනම්.. 'සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොණේ..” ආකාශ් කියාගෙන කියාගෙන ගියා. "අම්මෝ..එහෙම කට පාඩමක්." රායාට හිනාව නවත්තගන්න බැරි වුණා. "හරි දැං මං දන්නව ඔයා කොහොමද විභාග පාස් වුණේ කියල.." එයා කිව්වා. "මෝඩි. මං කළේ කට පාඩම් කරන්න පුළුවන් දේවල් නෙමෙයි." කියල ආකාශ් කිව්වා.
 
ආකාශ් නිසා තමයි රායාට මුලින්ම 'ඇට මැස්සා' කියවන්න ලැබුණෙ. ඇටමැස්සා එයාට තෑගි දීල තිබුණෙ එයාගෙ කුළුඳුල් පෙම්වතිය නදී. එච්චර ලස්සන පොතක් තෑගි දුන්නු පෙම්වතියක්ව නැති කරගත්තෙ මොකද කියල රායා ආකාශ්ගෙන් ඇහුවා. "මන්දා.." කියල එයා මොහොතක් කල්පනා කළා. "කේක් ෂොප් එක ළඟ වාහනය නවත්තන්න කිසි තැනක් තිබ්බෙ නෑ.. ඒත්, එයාට හැම වෙලාවෙ කේක් එකක් ගන්නත් මං ළඟින් ඉන්න ඕන වුණා.." ඉන් පස්සෙ ආකාශ් කිව්වා. "කොච්චර පුංචි දේවල්ද? ගෑණු ළමයි එහෙමනෙ.." රායා උත්තර දුන්නා. "අපරාදෙ මෙච්චර ලස්සන පොතක් තෑගි දුන්න ළමය ඔයා නැති කර ගත්තෙ.." 'ආදර නදීගෙන්' කියල මුල් පිටුවෙ ලියල තිබුණ අකුරු පේළිය හෙමිහිට පිරිමදිමින් රායා කිව්වා. ආකාශ් මුකුත්ම නොකියා බුම්මගෙන හිටියා.
 
ආකාශ් ළඟ ලස්සනම ලස්සන පොත් තිබ්බා. රායා නාවොත් ආකාශ් ඒවා රායාට කියවන්න ගෙනිහින් දුන්නා. ශ්රීකාන්ත, ශ්රීකාන්ත හා රාජලක්ෂ්මි වගේ ප්රේමය අතුරලා තිබුණු පුදුමාකාර ලස්සන පොත් එකාගෙ පොත් එකතුවේ තිබුණා. රායා ඒවා කියෙව්වෙ මුල් වතාවට. රායා පාඩම් වැඩ වල අතුරුදහන් වෙලා ඉන්න කොට ආකාශ් රායට ලිව්වා. රායා අන්තර්.වාර පුහුණුව ලැබූ පරිගණක සමාගම පහු කරන් කතා නොකරම එයා ගිය දවස්වල "මට කොයින්ද ඇතුළට එන්න තරං හයියක්." කියල එයා ලිව්වා. "බොරු!" රායා රායටම කියා ගත්තා. ආකාශ්ට තිබුණෙ ගෑණු ළමයෙක්ගෙ වගේ බෝල අකුරු. ලියුම පටන් ගත්ත තැන අකුරුවල ලස්සනින්මයි එයා ලියුම අවසන් කළෙත්. එහෙම ලියුම් ලියන්නෙ කොහොමද කියල රායා පුදුම වුණා.
 
ආකාශ් රායා හැර වෙන කිසිම ගෑණු ළමයෙක් එයාගෙ ගෙදර එක්ක ගියේ නෑ. " මං අරන් හදාගත්තු ගෑණු ළමයා" කියලයි එයා රායාව අඳුන්නලා දුන්නෙ. එතකොට ආකාශ්ට අවුරුදු තිහක්. රායට අවුරුදු විස්සක් වුණා විතරයි. රායා හිටියටත් වඩා පුංචි ළමයෙක් විදිහටයි ආකාශ් සැලකුවේ. දවසක් ආකාශ් එයාගෙ ගෙදර ලියන කාමරයේ ඉඳන් විභාගෙකට ලෑස්ති වෙද්දි රායාත් එතැන වාඩි වෙලා පන්ති සටහනක් ලියමිනුයි හිටියෙ. ආකාශ්ගෙ රත්නපුර ලොකු අප්පච්චි වෙලේ එයාලගෙ ගෙදර ඇවිල්ලයි හිටියෙ. "කවුද ලොකූ මේ?" කතුරක් ගන්න කාමරයට ලොකු අප්පච්චි එයාගෙන් ඇහුවෙ එතකොටයි. "අන්න අර කැලේකින් ඇහින්ද කෙල්ලෙක්." ආකාශ් කිව්වෙ හිනාවීගෙනමයි.  "කවුද ඔයාද ඇහින්දෙ" ආකාශ්ගෙ ලොකු අප්පච්චි අනෙක් පැත්තට ඇහුවෙ අසුරු සැණකටත් කලිනුයි. ආකාශ්ට ඒකට උත්තරයක් දෙන්න කොච්චරක් බැරි වුණාද කිව්වොත් ඊළඟට නිශ්ශබ්දතාවට රායාගෙ පපුවත් ගැහෙන්න වුණු තරම්.
 
ආකාශ්ටත් රායාටත් තිබුණා මොකක්දෝ නොපෙනෙන කියැවීමක් දැනීමක්. හරියට ඒක හයවැනි ඉන්ද්රියක් වගේ දෙයක්. රායා එයාගෙ ගේ ගාව මුළු කඳු ගැටයක් නැගල පාළුවෙන් පෙරී ගෙන හිටිය වෙලාවක වහින්න පටන්ගෙනයි තිබුණෙ. එයා නොහෙල්ලීම වැහි බිංදුවලට එයාව තෙමන්න ඉඩ දී ගෙන, පියාගෙන හිටිය ඇස් දෙක අරිද්දි ආකාශ් ඇවිත් එයාගෙ වම් පැත්තෙන් වාඩි වෙලා තෙමෙමින් හිටියා
 
රායා ඇස් අදහාගන්න බෑ වගේ එයා දිහා බැලුවා. ඒක කොහෙත්ම වෙන්න බැරි දෙයක් වෙලයි තිබුණෙ. "මට පාළු හිතුණ. මං ආවා." එයා පුරුදු විදිහට උරහිස් ගස්සමින් කිව්වා. "තෙමිල මැරෙන්නද හදන්නෙ?" රායා ඇහුවා. ආකාශ් රායගේ මූණ දිගේ වැටෙමින් තිබුණ වැහි බින්දුවක් එයාගෙ දබරැඟිල්ලෙන් පිස දැම්මා. " මං හෙට බෝඩිමට යනවා. අතපසු වුණු පාඩම් ගොඩයි." රායා කිව්වා. "බෝඩිමට යන අතරමඟ මං ඔයාව බඹරකන්දෙ එක්ක යන්නද?" ආකාශ් රායාගෙන් ඇහුවා. "ඕනි නෑ" රායා කිව්වා. ආකාශ්ගෙ ලොකර් එකේ අලවන් හිටිය කවියෙ අයිතිකාරිය එක්ක එයා බඹරකන්දෙ ගියා කියල රායා දැනන් හිටියා. එයා නැඟිටලා හෙමින් කන්ද බහින්න පටන් ගත්තා. දෙන්නගෙන් එක් කෙනෙක්වත් ඊට පස්සෙ කතා කළේ නෑ.
 
නිකරුණේ වැස්සෙ තෙමුණු හින්දද මන්ද බෝඩිමට ගියාට පස්සෙ රායාට සහළෝල උණ ගත්තා. කන්නෙත් නැතුව එයා ඇඳේ ගුලිවෙලා ඉද්දි "ඔයාගෙ අයියා ඇවිත්" කියල බෝඩිම අයිති කෙනා ඇවිත් දොරට තට්ටු කරමින් කියල ගියා. "කවුද දෙයියනේ මගෙ අයියා?" කියල රායට හීනෙන් වගේ හිතුණා. එයා එළියට ඇවිත් උඩ ඉඳන් පහළ බලද්දි ආකාශ් එයාගෙ ජීප් එකට හේත්තු වෙලා හිනා වී ගෙන බලා හිටියා. ඊළඟට එයා තරප්පු පෙළ දිගේ දුවගෙන ආවා. "එන්න මාත් එක්ක යං. අම්ම ඔයාට බෙහෙත් දෙයි." එයා රායව උස්ස ගත්තෙ පොඩි ළමයෙක් වගේ.

ආකාශ් රායව අත හැරියෙ එයාගෙ ජීප් එකේ පිටිපස්සෙ සීට් එකේ ඉන්දවලයි. එතකොටයි එයා දැක්කෙ ආකාශ්ගෙ අම්මා ඉස්සරහ සීට් එක උඩ වාඩි වෙලා ඉන්නවා. ආකාශ්ගෙ අම්මා වෛද්යවරියක්. ආකාශ් කෙල්ලක් උස්සන් ඇවිත් තමන්ගෙ වාහනේ ඉන්දුවම ඇස් උඩ යන්නෙ නැත්තෙ මොන අම්මගෙද? වෛද්යවරියක් නිසා එයා රායගෙ නළලට අත තියල බැලුවා. "මට එන්න බැහැ" රායා දුර්වල හඬින් කිව්වා. "ඔයාව මේ විදිහට දාල යන්න බැහැ." ආකාශ් කිව්වා.
 
යන අතර මඟදි, අම්මා වාහනෙන් බැහැල ෆාමසියකට ගියා. රායා ආකාශ්ව කෙනිත්තුවා. "දෙයියනේ ඔයා කොහෙ ඉඳලද මාව බලන්න ආවෙ?" රායා ඇහුවා. "මට දැනෙනවනෙ ඔයාට කරදරයක් වෙන කොට." ආකාශ් එයා දිහා නොබලම කිව්වා. බෙහෙත් වගේකුයි ජීවනී බෝතලයකුයි ආකාශ්ගෙ අම්මා අතේ තිබුණා. " මේවා බිව්වම ඔයාට වමනෙ දාන්න හිතුණත් වමනෙ දාන්න බැහැ." එයා ජීවනී බෝතලේට තට්ටුවක් දමමින් කිව්වා.

"යි ඔයා කසාද නොබඳින්නෙ?" වරක් රායා ආකාශ්ගෙන් ඇහුවා. "අම්මා කියනවා මට අපල නිසා අවුරුදු තිස් දෙකක් වෙන කල් කසාද බඳින එක හොඳ නැහැ කියල." ආකාශ් කිව්වා. "ඔයාගෙ අම්ම ඩොක්ට කෙනෙක් වෙලත් එහෙම කියනවද?" රායා ඇහුවා. ආකාශ් හූ මිටි තිබ්බා.
 
ආකාශ් ගෑණු ළමයි ආශ්රය කරන විදිහ රායා දැනගෙන හිටියත් වන කොට ආකාශ්ව එයාගෙ ආත්මෙ පතුලටම කිඳා බැහැලයි තිබුණෙ. රායාට සදාකාලිකවම එයාගෙ නිසංසල මිටියාවත වෙන්නෙ කොහොමද කියල හිතා ගන්න බැරි වෙමිනුයි තිබුණෙ. එයාට ආකාශ්ව නොදැක ඉන්න බැරි වෙන එක ගැන මහ බයක් දැනෙමිනුයි තිබුණෙ
 
ඊළඟ දවසෙ ගෙදර එද්දි, රායාව ගිහින් ඇරලවන්න ආකාශ් ඇවිත් හිටියා. වෙන කොට වෙන පිරිමි ළමයෙක් රායාගෙ පස්සෙන් එන්න අරන් ඒක මහ කරදරයක් වෙලයි තිබුණෙ. "රායා, වගේ රස්තියාදුකාරයන් එක්ක නං යාළු වෙන්න එපා." ආකාශ රායාට කිව්වේ අහක බලාගෙන. රායා කට කොණකින් හිනා වුණා තනියම. "ඔයා කැමතිද මං වගේ කෙනෙක් බඳින්න?" කියල අහන්න හිතුණත් එයාට හයියක් තිබුණෙ නැහැ ඒකට. රායගෙ ගෙදරට යන පාර කඳුකර පාළු පාරක්. ආකාශ් එක තැනකදි එයාගෙ වාහනේ නැවැත්තුවාරායා ආකාශ් දිහා බලන්නත් කලින් එයා රායගෙ දෙතොල් සිපගත්තා.

ඊට පස්සෙ රායා හිටියෙ හිරිවැටිච්ච ගමන්. කවදාවත් එයාව ඒ විදිහට කවුරුවත්ම සිප ගෙන තිබුණෙ නෑ. ඒත් ඒ පෙම්වතෙක් සහ පෙම්වතියක් හුවමාරු කර ගත් හාදුවක් නොවෙන බව රායා දැනගෙන හිටියා. ඒ වගේ තවත් එක හාදුවක් ආකාශ්ගෙන් ලැබුණොත් එයත් ආකාශ් භෞතික විදිහට ඇසුරු කළ එයාගෙ ගෑණු කුලකයේ තවත් එක කෙල්ලක් විතරක් වෙන බව ප්‍රේමය ගැන ලොකු අත්දැකීමක් නැතත් රායාට තේරුණා.

ඉගෙනීමට කැමති වැඩිදුර කියවීම් තියෙන ගැහැණු ළමයෙක් විදිහට රායාට ඒ ඉරණම පිළිගන්න බැරි බව රායා දැන ගෙන හිටියා. වෙන ගැහැණු ළමයින් සමඟ සතුටු වී එන සැමියෙක් පිළිගන්න ඉන්න බිරියකගේ චිත්ත රූපය ඇයව බියපත් කළා. ඒත් එක්කම ආකාශ්ට වෙන් වෙලා තිබූ ඇගේ හදවතේ පදාස පිටින්ම වේදනාවෙන් ඇදුම් දුන්නා.

"ආකාශ්..," ඈ ලියුමක් ලියන්න පටන් ගත්තා. "ඔය හැම බැඳීමකින්ම වෙන් වෙලා මාව කසාද බඳින්න කැමති නම් ඕෆ් ස්ප්‍රීන්ග් පන්සල ළඟට එන්න." ඈ ආකාශ් වෙත දන්වලා යැව්වා. රායා කියපු වෙලාවට ආකාශ් පන්සල ළඟට ආවෙ නෑ. එයා රායා දුන්න දුරකථන ඇමතුම් එකකටවත් උත්තර දුන්නෙ නැහැ.

රායා ගිනි කන්දක් වගේ වේදනාවෙන් පිපිරුවා. විරහව ගැන අහල තිබුණට ඒක මොනවගේද කියල එයා මීට කලින් දැනගෙන හිටියෙ නැහැ. ආදරය විඳින්නත් කලින් කෙනෙකුට විරහවක් දැනෙන්න පුළුවන්ද කියල රායා රායාගෙන්ම ඇහුවා.

ආකාශ්ට නො කියා ආකාශ්ව බලන්න යන්න එයා බය වුණා. ටික කාලයකින්ම ආකාශ් වෙන තැනකට මාරු වෙලා ගිහින් තිබුණා. යන බවවත් නොකියන්න එයා හිත දැඩි කරගත්තෙ කොහොමද කියන්න රායා දන් නෑ. එහෙමත් නැත්නම් මුල ඉඳන්ම මහ වැවක් වගේ එයාට පෙනුණේ මිරිඟුවක්ද කියන්නත් ඈ දන් නෑ.

රායා ඇස් ඉදිමෙන කල් ඇඬුවත් එයාගෙ බෝඩිම ගාව නවත්තන වාහනයක් වාහනයක් ගානෙ ගැස්සුණත් ආකාශ් ආයෙ ආවෙ නෑ. අඬල අඬල සාමාන්‍ය වත්පිළිවෙතකට හැඩගැහෙන්නත්  රායට සෑහෙන්න දවසක් ගියා. ඉන්පස්සෙ එයා ආකාශ්ගෙ අම්මට කතා කරල ආකාශ්ගෙ සම්බන්ධතා ගැන සීමාසහිත දේවල් ටිකක් කිව්වා. ආකාශ්ගෙ අම්මා රායා ගැන හිතුවෙත් ඈත් ඔහු ආශ්‍රය කළ ගැහුණු කුලකයේ එක්කෙනෙක් විදිහටයි.

ඊට පස්සෙ දවසක ආකාශ්ගෙ අම්ම එයාගෙ ප්රජරෝ ජීප් එක පදවගෙන රායාගෙ බෝඩිම ළඟට ආවා.  රායා බෝඩිමෙන් පාරට ඇවිත් එතැන හිට ගත්තා. අම්මා හෙමිහිට ජනෙල් වීදුරුව පාත් කළා. "ඔයාට සල්ලි ඕනද?" ඊළඟට එයා ඇහුවා. "මට මොකටද සල්ලි?" රායා ඇහුවා.

සමහර උයන් තියෙනවා ඒ උයන්වල මොනතරං සුවඳ මල් තිබුණත් සුදුසු කල ආ කල හැර දා යා යුතු. ඒත් වරක් විඳි මලක සුවඳ සදා කාලයටම යැයි රායාගෙන් ඇසුවොත් ඈ කියන්නත් පුළුවනි.
 
fiction  - ෂසිකා අමාලි මුණසිංහ