Monday, June 18, 2018

ඔවුන් සතුය උණ්ඩ

අකුරු වියැළී යන ලෙස
ඔබ මා තලා දැමුවෙහිය
ලිපිගොනුවලින් මට ගසා දැමුවෙහිය
එහෙත් මිය නොගියෙමි මම
මා සොයා ගත් වංචාව
මහ පොළොව මත සපථ කොට මිස
ජීවමානත්වයෙන් ගිලිහී යාම
අසීරුය

හොරු අල්ලන අය පැමිණ
හොරුන්ගෙන් වත ගොත අසා යන හැටි බලා ඉමි
කිසිවෙක් නො අරිත් මා දොර
සිනා වීමට පවා ඔවුහු බිය වෙති
සොරු ඇල්ලීමට සිදු වේ යැයි
ඔවුහු බිය වෙති; මැලව යති

ඉතින් සකියනි ඔබ
නොවෙහිද සොරෙක්, සොරුන් සතු දේශයක
සියුමැලිය ඔබ නොවෙහිද,
මැරවරියක උපන් රට
හුස්මක්වත් වැටෙන්නට ඉඩ නොදෙනු එසේ නම්
ඔවුන් සතුය උණ්ඩ, ඔබ ගිල දැමිය හැකි

එ'රන් කොපු 'විත් සැණෙන්
මංගලාභරණයක් මෙන්
ඔබ පපුව වැළඳගෙන නිදාගන්නා විටෙක
කවි ලියන කුරුල්ලන් හට හැකිද
පණ නොගිය මිනිසෙකු වළලන්න?
බෝදිලිමෙකුට වුව හැකිද
ඉකි ගසා එක දිගට වැළපෙන්න?

- ෂසිකා අමාලි මුණසිංහ

No comments:

Post a Comment