Tuesday, June 30, 2015

'සකි, ඔබ මතක මුහුදකි, ඉවුරු නැත එහි කිසි'



උස් බිම් මැඳුරු අබියස සෙලවෙන රන් රසු දැල්ය
බරණ කෙස්වැටියෙන් සඟවා ගන්ට තනන යුවතියකි අහස
රෝස පෑ වලා නිරිත දෙසට පාව යයි සුළඟ සමඟ
ඔබ ලයිටරය අවුළුවා ගැඹුරැති හඬින්
සමාවෙන්නැයි කියයි

'සමාවෙන්න.. දන්නවද මා ඔබ දන්නා බව'
නික්මීම නොහඟවා ඉන්නට වෙර දරන අහස හිස් අවකාශයට
දුම් වළලු විසි කරයි ඔබ
ඔබේ ඇස් දෙක මෘදු පෙනෙන නොපෙනෙන කාන්තියකි විට විට
සිඳු රළ මඳක් ඉහළ නඟියි පාව එයි රළ කැරලි මාවතට

ගිද්දා නැටුමකට සැරසෙන්නාක් මෙන් වැනෙන වැටකෙයි පඳුරු
කුණාටුවකින් පෑරී ඇත මහ මුහුද දුර ඈත, ශීතලය අගනුවර කොතරම් දුරද එය
ඉකි බිඳුමකි, වැළපුමකි, දුම් වලාවකි රාත්‍රිය

'එය රිදවයි මා හද' වචන අරපරිස්සම් කරයි ඔබ
ඔබ ඔය කියන්නේ මල් පිපෙන්නට පුළුවන් බවද
'නැහැ, වැදගත් දෙයක් නොවෙයි.. විකාරසහගතයි'
'විකාර කියන්නේ හැම කෙනෙකුට පොදුයි'
ඔබ අත ගසයි, ගිනි පුපුරු පහළට විසි කරයි
'ඔව්, මල් පිපෙන්නත් පුළුවන් තමයි'

මැහැල්ලක් පිය නඟයි අවපැහැ ගෙවල් අතරින් වීථියෙහි
රබර් කිරි බඳුනෙකි ඈ අත, එක අතෙක සාරි ඇන්දූ වහු පැටවෙකි
ගොජ ගොජ ගා පිපෙයි කිරි එළිමහන් ලිපෙහි නැඟෙයි ගිනි
'බයගුල්ලෙක්' කිය කියා රළ ඇවිත් මකයි පිනි

දුක් ඈතට ගසා යන දුම් කුහරයකි ඔහු අත
කොක්කු ඉගිල යයි ළා කොළ පෑති කෙත් මත
රාත්‍රිය අවසන වැඩ වැරුමකි අවසන් වචන
'සකි, ඔබ මතක මුහුදකි, ඉවුරු නැත එහි කිසි'

Picture - FUTOSHI ESHITA, Hanayuishi Takaya

5 comments:

  1. ගිද්දා නැටුම කියන්නෙ මොකද්ද?

    අන්තිම පේළිය ගොඩක් ලස්සනයි.
    ජය වේවා!!!

    ReplyDelete
  2. //'විකාර කියන්නේ හැම කෙනෙකුට පොදුයි'

    'ඔව්, මල් පිපෙන්නත් පුළුවන් තමයි'///

    සම්භාව්‍ය චිත්‍රයක් දිහා බලං හිටියා වගේ.. කියවන කියවන වතාවට වෙනස් වෙනස් අර්ථ මැවෙනවා...

    ReplyDelete
  3. ප්‍රංශ චිත්‍රයක් වගේ මැවේන්නේ!!

    ReplyDelete
  4. අළුවන් කුසුම් පෙති දිගහැරෙන්නේ ඔහු දෙතොලගිනි
    පඬුවන් වතෙහි මරකත මැණික් මෙනි දිලෙන්නේ ගැඹුරු දෙනුවන්
    ඈත පෙරදිග රටකින් පැමිණි මැවුම්කරුවෙක්ද ඒ
    මග දෙපස තුත්තිරිද හිස නමන්නේ ගරු සරුවෙනි

    හැන්දෑව ලා දම් පැහැ කසී සළුවකි
    ලදැරියක් විලස ඇවිටිලි කරමි – නිලා පොකුරක් අතැතිව
    සැලෙයි රත් ල'දල්ලක්, ලයිටර හිසක් ඇවිලී
    ඔබේ නෙත් තුල රඟන්නේ එක වගේ කෙල්ලන් දෙදෙනෙකි.

    ඉසියුම් පුළුන් කැටියක්ව – වළාකුළු වෙත එසවෙමි
    නිලා පොකුරෙහි ගිනි මල් ය වළා කෙහෙරැලි අතර තැන තැන
    ඉසිලුම් නැතිව ඉපිලෙමි – මද පවනකින් සසැලෙමි
    පීරි ගාමින් හද තත් – රෑසියන් සැඟවගෙන වයත් වෙණ

    ඉඟුරු තේ තරම් උණුහුමයි ඒ උරහිස
    ස්ටෙප්ස් බිමක් තරමට පුළුල් – හොඳටෝම වැඩියි එහි ඉඩකඩ
    සදාකාලයටම ලැගුම් ගන්නට නොතරම්ය
    නවාතැන්පොලක් නොව – ගිමන්හලකිය ආවොතින් යන්නම වෙන

    සුහදාන සිහින් ස්වරයෙන් සිවුරුහන් ලන්න
    අවසාන දුම් වළල්ලෙත් මල් පුබුදන්න
    පිටවාන කඩාගෙන යන සුසුමක් තුල කිමිදෙන්න
    නොදොඩාම කිසිත් හිස සැලීමෙන් පමණක්ම සමුදෙන්න

    ReplyDelete