
කුඩා කල මා සතුව අගේ ඇති කබායක් තිබුණේය. එය ඇසට පිය දනවන මුදු රෝස පැහැයකින් යුතු විය. එහි මතු පිටටත් වඩා අලංකාර වූයේ ඇතුළුපිටය. ඇතුළු පිට රෝස පෑ විල්ලුදමය රෙද්ද මත අලංකාර මල් මෝස්තරයක් වැටී තිබිණ. වැසිබර දිනයන්හිදී පාසල් යන විට අම්මා මේ කබාය තුළට තම කුඩා දියණිය බහා යැවීය.
එහෙත්, ඉතා හුරුබුහුටි වූ පිම්බුණු සොබාවැති මේ කබාය ඇඳගෙන පාසලට ඇතුළුව පන්තියට ඇතුළු වීමට තිබූ පඩි පෙළ පැන පැන යද්දී, පන්තියේ පිරිමි ළමයි 'අලියෙක් එනවා!" යි කෑ ගැසීමට කිසි කලෙක අමතක නොකළහ. හෝඩියේ පිරිමි ළමයි හොඳ වුණේ කවදාද? මේ හෝඩියේ පිරිමි ළමයිය. මා පාසලට යන විට හැමදාමත් ඔවුහු අඹ ගෙඩියක් බිම හෙළන්නට පොර කමින් සිටියහ. ඔවුන්ට එසේ කළ හැකි වී යැයි ඔබ සිතනවාද? මම ඔවුන් නොතකා මාගේ නිල්පාට වතුර බෝතලය කරකවමින් පන්තියට ඇතුළු වීමි.
ලොකු වුණාම මේ පිරිමි ළමයි එක්ක යාළු වෙන්න වෙන එක කොච්චර නරකද? ලොකු අක්කලාට සිදුව ඇත්තේ කොතරං භයානක දෙයක්ද? එහෙත්, ඔවුන් පන්තිවලට ඇතුළු වන දොරටු දෙපසට වී එකිනෙකා හා කතා කර කර සිටින්නේ මොනවාද? විවේකකාලයේ අපි කොටු පනින කොටත්, "අපි දෙන්නා යාළු - රෑට බතට මාළු" කරන කොටත් ඔවුන් නොනවත්තා කතා කර කර සිටියහ. පාසලේ උප විදුහල්පතිතුමාගේ පුතාත් ඒ අතර වූහ. "සම්බෝලේ - බොන්සාලේ සම්බෝලෙගෙ තාත්තා පන් බෝලේ" ගිරිය යටින් කෑ ගසමින් අපි ඒ අසලින් දිව යමු.
කොහොම නමුත්, පෙර කී හෝඩියේ පිරිමි ළමයි යනු කිසිසේත් සැලකිය යුතු පිරිසක් නොවේ.
ඉතින් මම මේ අපූරු කබාය පැළඳගෙන පන්තියේ වාඩි වී ඉගෙනගත්තේ මහත් උද්යෝගයෙනි. ඒ අපූරු කබාය පන්තියේ වාඩි වී සිටිනා හැම විටම මා පිනවමින් උන්නාය. දහවල් කෑම කද්දිත් කෑම ඉවර වී ලොලිපොප් කද්දිත් මා මගේ කබාය ගැලවූයේ නැත.
අපගේ පාසල කොණකින් රබර්වත්තක් වූ අතර ඒ රබර්වත්ත හරහා දිවෙන ගුරු පාර වැටී තිබුණේ පුරාණ රජ මහා විහාරයක් වෙතය. පෙර කාලේ දන්ත දාතූන් වහන්සේ වැඩ සිට ඇත්තේ ඒ පන්සලේය. පාසල පිහිටි ගම 'මල්ලැහැබ' වීමට හේතු වුණේ එයය. දළඳා වහන්සේ වැඳීමට මල් නෙළා ගත් වන ලැහැබ් වූ ගමය. පාසල පිටුපසින් රැළි නඟමින් දුව යන ඔය මල්ලැහැබ ඔය වුණේත් ඒ නිසාය. මට කියන්නට ඕනෑ, පාසල පිටුපස මේ කියන ඔය ළඟ තිබුණ විශාල බෝ ගහ ගැනය. බෝ ගහ ගැනත් නොවෙයි, ඒ ඔය ළඟ තිබුණු බෝ ගහේ එල්ලී තිබූ මහා විශාල දෙබර කූඩුව ගැනය.
ඒ දෙබර කූඩුව අප මීට පෙර දැක තිබුණු එකකි. වැහි මන්දාරමත් එක්ක පැමිණි උකුසු රාජයෙකු දෙබර කූඩුවට කොටන විට මා ඇඳ සිටියේ මගේ රෝස පෑ කබායයි.
"ෂූ.." කියා මුළු පාසලම දෙබරු වසා ගත්තේ අසුරු සැණකිනි. ගැහැණු පිරිමි ළමෝ කෑ ගසමින් ඒ මේ අත දිව ගියහ. මුළු පාසලම එකම භයංකාර නාට්‍යයක් වූ අතර සමහරු රැකවරණ සොයා ආවරණ ශාලා කරාත් කාර්යාල කාමර කරාත් දිව ගියහ. නොනවතින ගුම් නදක් සමඟ දබර වෙන දෙබර සේනාවකි දැන්. "ඩෙස් පුටු යට පාත් වෙන්න. හෙල්ලෙන්න එපා." ගුරුතුමී කෑ ගෑවාය. අපි හැමෝම බිම පාත් වූ අතර සමහරු ගුරුතුමියගේ මේසයට දමා තිබූ ඉටි රෙද්ද යට ගුලි විය. මගේ හිත වේගයෙන් ගැහෙයි. මමද කුඩා පුටුවක් යට දණ ගසාගෙන සිටියෙමි.
"දැන් දෙබරෙක් විදියි.. දැන් දෙබරෙක් විදියි" මගේ හිත කියයි. දෙබරු රංචුවක් මා වටකොටගෙනය. දවසක් ගෙය පහළ ඇළට යන අතර බඹරෙකු මගේ මුහුණ සපා තඩිස්සි වූ ආකාරයත් මුළු මුහුණම රිදෙන්නට වූ ආකාරයත් මට හොඳින් මතකය. එදින සීයා පුවක් පැණි ගෑමෙන් අනතුරුව වේදනාව මඳක් සමනය විය.
දෙබරු මට විදින බව යාන්තමට පෙනේ. කවර අරුමයක්ද.. එහෙත් මට රිදෙන්නේ නැත. හෝරාවකට පමණ පසුව පාසල යළිත් නිසොල්මන් වූ අතර දෙබරු ඈත්ව ගොස් තිබිණි. ළමයි කෑ ගසා හඬමින් සිටියහ. මමද මහා හඬින් අඬන්නට වීමි. පහළ ගෙදර ආර්යාත් ඇගේ මල්ලීත් මහ හඬින් අඬනු මට පෙනේ. එසැණින්ම, සියල්ලන්ටම ගෙදර යනු පිණිස පාසල කලින් ඇරිණි.
අඬමින්ම අපි ගෙදර දක්වා වූ මුළු දුරම පයින් ආවෙමි. ගෙදර එන තුරුම ආර්යාත් ඇගේ මල්ලීත් මමත් මහ හඬින් ඇඬීමු. දෙබරු විද්ද ළමයි වැඩිහිටියන්ගේ මහත් අවධානයට ලක් වූහ. "මෙයාට විදපු ඔක්කොම කබායෙනේ" මා හඬනු දුටු මඟදී හමු වූ ඈයෝ දෙඩූහ. ඔවුන් එසේ කියනවාට මහත් සේ අකැමති වූ මම පෙර හැඬුවාටත් වඩා මහ හඬින් හැඬීමි.
ආර්යාත් ඇගේ මල්ලීත් ඔවුන්ගේ ගෙදරට හැරී ගිය පසු මම හැඬුම නතර කර ඉතිරි දුර ගියෙමි.
ගෙට ගොඩ වූ සැණින්, හුස්මක් කටක් නොගෙන අම්මාටත් ආච්චීටත් මුළු විස්තරය කීවෙමි. දෙබරු මුළු පාසල වසා ගත් හැටි! "මෙයාට විදින්න දෙබරුන්ට බැරි වෙලා. මේ කබායේ තියෙන තුඩු ගානට දෙබරු විද්ද නම්, ගෙදර එන්න හම්බ වෙන් නෑ.." මගේ අපූරු රෝස කබාය මත ඇමිණි දෙබර තුඩු අරන් දමමින් අම්මාත් ආච්චීත් කතා වූහ. "ඒ වුණාට මාත් ඇඬුවා. අඬන්නේ නැතුව ආව නම් හොඳ නෑනේ.." මම කීවෙමි.
"විගහට ගිහින් අර පහළ ගෙදර දරුවො දෙන්නව බලල ආව නම්.." සීයා ආච්චිට කියනු මට ඇසිණි. මගේ අපූරු රෝස කබාය විසින් මහා විපත්තියකින් මා බේරා ගත්තේ එසේයි.
Picture 1 - Jessie Wilcox Smith, American Illustrator (1863 - 1935)
Picture 2 - www1.macys.com
"ඒ වුණාට මාත් ඇඬුවා. අඬන්නේ නැතුව ආව නම් හොඳ නෑනේ.."
ReplyDelete:))
Deleteමේ සිදුවිල්ලත් එක්කම මට මතක්වෙන පාසල් කලබලයක මගේ අත්දැකීම් මතක් උනා. පොඩි කාලේ තිබ්බ රේන්කොට් , තොප්පි, කබා, සපත්තු එක්ක අපේම හීන , සිතුවිලි කොතරම් බද්ධ වෙලා තිබ්බද? ස්තුතියි ඒ සතුට ආයෙත් මතක් කලාට
ReplyDeleteස්තූතියි රස වින්දාට!!
Delete/ වැසිබර දිනයන්හිදී පාසල් යන විට අම්මා මේ කබාය තුළට තම කුඩා දියණිය බහා යැවීය./
ReplyDeleteමේක නියමයි...:)
/ ලොකු වුණාම මේ පිරිමි ළමයි එක්ක යාළු වෙන්න වෙන එක කොච්චර නරකද? ලොකු අක්කලාට සිදුව ඇත්තේ කොතරං භයානක දෙයක්ද? /
:) :)
මල්ලැහැව කියලයි මම හිතාගෙන හිටියෙ.මඩොල්සිම මගෙ යාලුවෙක් හිටිය නිසා එහෙ ගිහිල්ල තියනව.
අපෙ හාමිනේගෙ යාලුවෙකුත් ඉන්නව නම මල්ලැහැ...
මේ Ms. Mountain,....කවි ලිවිල්ල ටිකක් අමතක කරල කතන්දර ලියන්ට පටන් ගත්තොත් මොකද වෙන්නෙ?...:)
බලන කොට නොගිය තැනක් නෑ වගේ! මල්ලැහැබ තමයි පස්සේ එහෙම නම වෙනස් කරන් තියෙන්නේ! :)
Deleteරණශූර විපුල දැනුමැති නන්දෙස පතල කීර්තිභාවශේෂෝපගත දන මන නිති පොබයන අපේ රවී උන්නැහේ කියන කතාව තමයි මටත් කියන්න හිතුනේ.
Delete////මේ Ms. Mountain,....කවි ලිවිල්ල ටිකක් අමතක කරල කතන්දර ලියන්ට පටන් ගත්තොත් මොකද වෙන්නෙ?...:)////////
හරිම ලස්සනයි.. හරියට රුසියන් සුරංගනා කතාවක් කියෙව්වා වගේ..
ReplyDeleteස්තූතියි.. සුරංගනා කතාවලටත් වඩා ලස්සනයි මගේ පුංචි කාලය!
Deleteසරලයි..සුන්දරයි..
ReplyDeleteස්තූතියි!!!
Deleteහාන්ස්ට නෑකමක් තිෙය්ද?
ReplyDeleteමං ඇහුවොත් ඔබෙන්!
Delete+++++ ( දෙදෙනාටම)
Delete:) :)
Delete