Sunday, July 13, 2014

ගැහැනිය ඔබේ වචනය ප්‍රේමයද?



කම්කරු සබඳතාවට
ඔබ කියන වචනය ප්‍රේමයද
ගැහැනිය!

සුදුමැලිවන තුරුම අත් - සෝදා රෙදි පොට්ටනි
මිරිකා තදින් වනා ගස්, ගල් අතර
දුවන්නී තොටුපළට ගරන්නී වැලි බඳුන් නිහඬව
මැණිකක් නොලබාම අඳුරත් එක්ක
උයන ගෙට වැදෙන්නිය
පොල් මටුලු සොයන්නිය
ගිනි දල්වන්නිය පොලන්නිය කොටන්නිය උයන්නිය
සිහින්වට කපන්නිය බදින්නිය තම්බන්නිය දවන්නිය
පුතුන් සැමියා වෙත බෙදා බත පුදන්නිය

හදිසියෙන් මතක් වී රෙදි කළුවරෙම දුවන්නිය
පුතුන්ගේ ලෙහුණු කලිසම් වාටි මහන්නිය
වෙහෙස වූ ඇස් විටින් විට අතින් මදින්නිය
කුස දැවෙන විට බෙදා බත්පතක් බුදින්නිය

හැළිවළං සෝදන්නිය පිහින්නිය
අවසන් අළු අරන් දාන්නිය
කා ඉවත ලා තියෙන බඳුන් අස රැඳෙන්නිය
අතු ගාන්නිය බිම
විසි කරන්නෙය මල් පාත්තිය වෙත දිය
දකින්නිය නිසා කල අවර හැරෙනා සඳ
තබන්නිය ගෙවී ගිය කොට්ටයක හිස

කියන්නෙය ඔබ මෙය
ප්‍රේමයැයි ගැහැනිය

නිවැරදිය
කෙලෙස නම් ඉහළ තියන්නද - කම්කරුවෙකැයි ඔබ
කිසිදු වැටුපක් නොලද කල

Picture - Carlo Caravagna

No comments:

Post a Comment