
පැමිණ රැගෙන යන්න හැකිනම්
පුරුදු දිවියට නැවත
උදේ රෑ දිවා උයා වෙහෙසෙන
බිම අමැද සෝදා කොඳු ඇටද කකියන
වතුර පෝච්චිය අරන් මල් ගස් වෙත දිව යන
සිහිනයක් දකින්නට පවා ඉඩ නැති වන
ආලය කරන්නට අමතකම වෙන
හැකිනම් පැමිණ රැගෙන යන්න
නැවතත් පුරුදු දිවියට
සෝදා රෙදි කඳු දෙඅත් දියවෙන
සෝදන මැසිම හදා දෙන්නට ඔබට අමතක වෙන
ලියන්නට පාඩම් කරන්නට මොහොතක් වෙන් නොවෙන
ලියන මේසයද ඇඳද අපේ නොව ඔබේ වෙන
උතුරා යන ප්‍රේමයක ගිලී නැති නම් මා මියයනු ඇත
සංස්කෘතික කන්‍යා පටලය ඉරා ප්‍රීතිමත් ගැහැනියක වනු ඇත
ඇතැම් විට ඔබටත් වඩා බොහෝ උස යනු ඇත
එබැවින් දෙන්න මට ඔබ විසින් සැලසුම් කරන ලද ජීවිතය
එවිට සහ එවන් ලෝකයක
ඉතා ගෞරවාන්විත ලෙස මට මා අමතක වනු ඇත
මෙවන් ලොවක පුරුෂයිනි
තොපට හැක ධජ නඟන්නට
කකුල් දෙක මේසය මත තබා
බොමින් රහමෙර අනේක
සැම තැනම ලොව ඉහළින්
වැජඹෙන්නේ පිරිමින්ය කියමින්!
Picture - Max Gasparini
No comments:
Post a Comment