Tuesday, February 18, 2014

මනඃකල්පිතයක් ඇත්තක් වෙන්න නොහැකිද?



මේ ලොව
සියලු උසාවි වැසී
කොන්ක්‍රීට් ගොඩනැඟිලි සමතලා වී බිමට
ඒ මතින් ළදලු, ළපල්ලව, ළමල් මතු ව
උස ගසින් යුතු තුඟු වනන්තර  පිරි හරිත යායක්
කුඩා රළ හීන් සුළඟට
මුසපත් ව හිනැහී මවන ජල නර්තන
අතරින් විහඟ මියැසිය
දෙකන් සුවපත් කරවන
මනඃකල්පිතයක්?

මනඃකල්පිතයක් කියන්නේ ඒකද

අනුන් රිදවන දනන් නොමැතිව
සියල්ලන් නා නා තැන්හි
කලා කර්ම, ගණිත කර්ම, විද්‍යා පුහුණුවන් ලබන
අයෙක් ඉසියුම් අලංකාරෙන්
පහන් සඳකඩ නෙලන
තමන් හිමි තැන තමන් ලබමින්
අන්සතු දෙයක් නොලබන
මිහිරි බිණුමන් ලොව තැනින් තැන පිපෙන
මනඃකල්පිතයක් කියන්නේ එහෙමද

සෙලවිය නොහැකි පෝලිම් පැන නැඟී
තොරක් නැති ව ම රථ නලා ගෝරනාඩුව
ස්.. සරයෙන් බිරාන්ත ව නැවතෙන
නිල්මහනෙල් මෙන් සුන්දර ව
සෘධි බලය ලද මිනිසුන්, යුවතියන්, ළමුන්
ආකාසය තුළින් ගමන් යන
තැනින් තැන බවුන් වඩනා භවතුන්
හදිසි ගමනක් නැති ව සෙමින් පිය නඟනා මහතුන්
සැම දෙනාට ම සම ව ධනය
අයෙක් බෝධි ඝට සහිත ආරාම මෙන් නිවහන් තනන
තවකෙක් කිරිගරුඬෙන් කුඩා මාලිඟාවක් තනන
බලය නම් අධ්‍යාත්මය තුළින්
ශාන්තභාවය තුළින් තම තමන් උපයා ගන්න
මනඃකල්පිතයක් කියන්නේ ඒකද
මනඃකල්පිතයක් ඇත්තක් වෙන්න නොහැකිද?

Picture - walltor.com/wallpaper/island-in-the-mist-187917

2 comments:

  1. මනංකල්පිතය බිද දා සෑහෙන්න කල් අනේ.. දැං තමා යථාර්ථය..

    ReplyDelete