Wednesday, February 26, 2014

සලකුණු



ඔබ මට පහර දුන් හැම විට
මම ද ඔබ හට පෙරළා පහර දුනිමි
ඔබ මගේ සිරුර මත තැබූ සලකුණු
තිබේ තවමත් නොවෙනස් වී
ඔබේ සිරුර මත මා තැබූ සලකුණු ද
එසේ විය හැක තව ම
ඒවා නිල ලාංඡන නොවෙද
අප සතු ව ආලයක් පැවත ඇති බවට

දැන් අපේ නොව හැමදේම මගේ
මගේ පඩිය ඕනෑවටත් වැඩි වගේ
පිසින්නට නොවෙහෙසමින් ඉස්තරම් කෑම හා
එකක් නිම වූ පසු එකක් මිලට ගෙන එන
නොයෙකාකාර පොත් කියවමි
හිනා එන චිත්‍රපටි බලමින් ම නින්දට වැටෙමි
උදෑසන අවදි විය යුතු නැත
හුස්මක් නාල්ලපු කඩිමුඩි ද දැන් නැත
පැය ගණන් අලුතින් ම ගත් ඇඳුමින් සැරසෙමි
පාට පාට කොණ්ඩ කටු, මල් මැහූ සෙරෙප්පු, සපත්තු
කරේ එල්ලන, අතේ ගෙනියන බෑග් ගලපමි
ප්‍රවාහන පහසුකම් නැත
අටේ බසයට හනික ඇවිදිමි

එහෙත් දවසේ හැම විට පෙනේ මට
ඔබ මා මත තැබූ සලකුණු
ඒ හැම සලකුණකටම
කතන්දරයක් ඇත
ඔබත් සමහර විට
මතක් කරනවා ඇත විටින් විට
මා ඔබ මත තැබූ සලකුණු

Picture - Christina Nguyen, American, born 1977, Romantic Twilight

No comments:

Post a Comment