Thursday, January 9, 2014

ආදරණීය ටොම්,


මොනතරම් ප්‍රේමාන්විත ලියුමක්ද? ඒත්, ටොම්, මෙතරම් සුන්දර, විරහවෙන් හද දවන වදන් කියා ඔබ, මට විහිලු කරනවාද, ඔබ අමතක කරන්නැයි.. මම ඉන්දියන් සාගරය දිහා බලා ඉන්නවා.. ඔබේ මගේ හද මෘදු ම වැලි මත අඳිමින්.. ඔබත් මමත් දකින්නේ එක ම මුහුදක එක ම රැළි ටොම්.. එය වෙන් කර තිබෙන්නේ හුදෙක් මිනිසුන්.. එහෙව්, මුහුදු රැල්ලක තබා මම මගේ හිත පා කර එවනවා ඔබ වෙත..

මේ වෙරළ මත, සියල්ලන් නිදි ගත් රැයක, කුඩා සිප්පි කටු ඇහිඳිමින් ඔබ මගේ කෙහෙරැළි මත ඇමිණුවා මතකද? එක ම නිසංසල හඬකින් මුහුද සිප ගලා ආ සීත කෝඩය ඔබේ මගේ හද උණුසුම් කළා මතකද? ඔබ සුන්දර ම වචන සියුම් සුසුමකින් මිමිණුවා මතකද? මේ අහස, මේ මුහුද ඔබේ මගේ වචන අරගෙන කතා කරන හඬ ඔබ කොහේ හිටියත් ඇහෙනවා නේද ටොම්..?

ඔබ කොතැන හිටියත්, ඔබ හිඳින තැන ගැන මවා ගත්තු මගේ ම චිත්‍ර තියෙනවා ටොම්.. ඒ චිත්‍ර ඇතුළේ ඔබ ඔතැනත් මම මෙතැනත්, ඔබ මෙතැනත් මම ඔතැනත් එක විට ම ඉන්නවා ටොම්.. ඔබ නොකිව්වාට ඔබට එය දැනෙන බව මා දන්නවා..

සිහින් සුළඟ, වෙරළ මත වැතිරෙන කළු මුහුද, තුරු අතරින් පෙරී එන සඳෙළිය, වෙන එකක් තියා 'වට ගණ ම ගණ කළු අන්ධකාරය මගේ හිත පුරා අඳින්නේ ඔබේ ඇස් දෙක විතරයි.. මා උපදින්නෙ ඔබේ හදවතේ නිසා, ඔබට මියයන්නට බෑ ටොම්..

පෙම්වත, මහ මුහුද මත පිපෙන සූර්යයා මෙන් ඔබ මගේ අධ්‍යාත්මය විදා ගෙන දිලෙන කොට, ඔබට ඇති ආදරය මම සඟවන්නෙ කොහොමද? මගේ හද මහ මුහුද මෙන් ඔබේ නම කිය කියා ඝෝෂා නඟනවා ඉතින්..

හදින් එන නෙක හැඬුම් ඉකියක් නොවී මහා සංධ්වනියක් කොට කුරුලු තටු මතින් මා ඔබ වෙත එවන්නම් ටොම්.. ඇසෙනවද ඔබට සකුණ සර ඔබ ඉදිරිපස දිගු දර්ශනය තුළින් නැඟී එන..

පෙම්වත, වචන වලට පෙරළන්නට ඕනෑ නෑ.. ඔබේ නිහඬබව වුණත් ස්මරණ තුළින් ගලා එන මහා ආදර කාව්‍යයක් වෙන කොට..

ඔබට ඇති ආදරෙන් අහෝ මා මියැදෙන්න යනවා ටොම්.. මගේ පෙම්වත, ඔබ වෙන් ව ගියේ නෑ කවදාවත්.. දහසක් දහසක් මුහුදු පරයා අපි හැම මොහොතෙ ම හමුවෙනවා ටොම්..

ඔබේ දිව්‍යමය ආලයෙන් මුසපත් වෙමින් මා ඔබ තුළ ම ටොම්..

ආදරෙන්,
ඔබේ ම ලැවීනියා

Picture - 'The Sleeping Dictionary' Film

6 comments:

  1. බොහොම ස්තූතියි කඳු.....:)

    ලැවීනියාගෙ අකුරුවූ සිතුවිලි කියවූ පසු ඔවුන්ගේ ආදර අන්දරය ලිවිය යුතුයැයි මට ද සිතේ. ස්තූතියි ආයෙමත්!!

    ReplyDelete
    Replies
    1. ටොම්ගේ ලිපිය කියවා විකාරසහගත වුණෙමි. පළමු ව, සතියක් නිවාඩු දමා ගෙදර දුව ගොස්, මේට්ලන්ඩ්ගේ කතාවේ පිටු කියවා එක හුස්මට ඉතිරි හරිය ලියාගෙන යා යුතු යැයි සිතුවෙමි. දෙවැනු ව, මවුන්ට් ලැවීනියා හෝටලයට ගොස්, රාත්‍රියේ අසල මුහුදු වෙරළේ ඇවිදින්නට සිතුවෙමි. තෙවැනු ව, ළඟ එන විභාගය සිහි වී, සටහන් අතට ගත්තෙමි.

      ස්තූතියි ඔබටත්.

      ඔව්, ඔබ ලියන්න එය. හැකි නම්, ඉංග්‍රීසියෙන් ම ලියන්න. මේ රටේ අය, දැන් ලැවීනියා හැර මේ රටට වෙන කතාවක් නැද්ද.. කියමින් දොස් නගද්දී වුව, වෙනත් රටවල අය පවා මහත් සුන්දරත්වයෙන් කියවාවි. අවැසි නම්, ලැවීනියාගේ කොටස රඟ දැක්වීමෙන් උදවු විය හැක. :) :)

      Delete
    2. ඇයි මහාවංශයේ සර් එඩ්වඩ් බාන්ස්ගේ ආර්යාව ලැවීනියා ලෙස දක්වා තිබෙන්නේ..? :(

      Delete
  2. ඔන්න.. ඔය වැඩේට කියාපු දෙන්න තමයි ඉතිං මේ... හි හි.... ( මට නං හරිහමන් විදියට ලවු ලෙටර් එකක්වත් ලියාගන්න බෑ ඉස්සරත්... හි හි)

    ReplyDelete
    Replies
    1. :D :D පොඩ්ඩක් උත්සාහ කරල බලන්නකෝ.. මහත්තයා අකැමති වෙන එකක් නෑ කියවන්න..

      Delete
  3. http://www.mountlaviniahotel.com/front/history_main.php

    ReplyDelete