Friday, October 4, 2013

ලෝකෝපකාරය කියැවීමි; පුදුමයට පැමිණීමි.

158. දිවා රෑ බබළන - රිවි සඳු සෙ පෙනෙන දෙවියෝ
     මෙ බඳු දෙවියන්ටත් - අතරතුර රාහුගෙන් බියවේ

භාවය:-  හිර සඳ දෙදෙනා රෑ දවල් බබළත්. එ බඳු වෙනත් දෙවියෝ නො වෙති. මෙ වැනි දෙවිවරුන්ටත් රාහු ග්‍රහණයෙන් බිය ඇතිවේ.

160. නල සිළු තුළට වැද - සිහිල නල නො නැසී පවතිනෙව්
සමත නැණ මැතිවර - රදුන්වෙත නිති වැසත් නොනැසත්

භාවය:- සීතල වාතය ගිනිදැල් තුළට වැද විනාශ නොවී පවතින්නාක් මෙන් සමර්ථ නැණවත් මන්ත්‍රීවරු රජුන් සමීපයෙහි නරම වාසය කොටත්. 

161. නිරිඳුන්ගේ තත ඉඟි - නො දත් මැතිවර නො දත් ගජිඳු
තෙසක් සිවුපා යුත් - මැති ඇති රදුට සිතුව සෑදේ.

භාවය:- රජුගේ සිතෙහි ඉඟි නො දත් මන්ත්‍රීවරු දළ නොමැති ඇත්තුය. ශක්ති තුනක් ඇති, සිවු උපා ඇති මන්ත්‍රීවරුන් ඇති රජුන්ට සිතූ දෙය ඉටුවේ. 

162. නිරිඳුන් ඉදිරියෙහි - අකාරණ කන් කෙඳිරි නො කරව්
රද අදහස් ලෙසට - වදන් දෙව් දෙව් සබාවන මෙන්

භාවය:- රජවරුන් ඉදිරියේ කන්කෙඳිරි නො කරව්. රජ අදහස් අනුව සත්යන වාදී වදන් දෙව්.

164. කිසි කාරිය නැතත් - රදු හා මැතිඳු නිතියෙන්
සෙව් නැ දනන්ගේ - දනට රැකවරණයෙහි සුරකිව්.

භාවය:- කිසි කාර්යයක් නොමැතත් රජු හා ඇමති නිතර සේවනය කරන්නා වූ ජනයාගේ ධනයට රැකවරණයකි. 

165. රදුන් සෙව්නා දන - නොළං නුදුරුව ගිනි තපින මෙන්
සිහි නුවනින් යෙදී - සප් රජෙකු මෙන් සිතා වැජඹෙවු.

භාවය:- රජුන් සේවනය කරන ජනයෙනි.ළං ද දුර ද නොවී ගිනි තපින්නා මෙන් සිහියෙන් හා නුවණින් යුතුව, නා රජෙකු මෙන් සිතමින් පවතිව්.

166. රජුන් උදහස් වුව - පෙරටුව උතුරු වදන් දෙන්නෝ
ගිනි ළග ඉටි විරෙන - ලෙසින් තම සිරිනි පිරිහීයත්

භාවය:- රජුන් කෝපයට පත්විට, ඉදිරියෙහි සිට පිළිතුරු දීමෙන් ගිනි ළඟ ඇති ඉටි දියව යන්නා සේ තමන්ගේ සම්පත් දිය කරවා ගත හැක.

167. රදුන් තිළිනෙන් මුත් - අන් සතකුගෙන් නොයේ දුක් ගිම්
වැසි වැස යන ගිමන් - යේද පිනිබටුවයි සතන්ගේ

භාවය:- මිනිසුන්ට ඇති දුක් නමැති ග්‍රීෂ්මය පහ කරන්නට හැක්කේ රජුන්ගේ පරිත්‍යාගයෙනි. මහා වර්ෂාවකින් පහව යා යුතු ග්‍රීෂ්මය පිනි වැටීමකින් කෙළවර වේ ද?

168. රදුන් ලොබැති දෙයට - ලොබය නොකරව් පණට හිතැතොත්
පලඟැටි ගොදුරු පත් - වැටුප් මැද වැද නෑසුනු ලෙස වේ.

භාවය:- තමන්ගේ පණ රැකගැනීමට සිතතොත් රජතුමා ආශා කරන දෙයට ආසා නො කරව්. ගොදුරු සඳහා පැමිණි පළගැටියා පහන මැදට වැටී නැසුණා මෙන් සිදුවන්නේය.

169. රදුන් බජනය කළ - කෙදන දනවත්ව බබළන
රන් නෙර ඇසුරු කළ - හැම සතන් එම පැහැය වන මෙන්

භාවය:- රජතුමා ආශ්‍රය කරන කවර කෙනෙක් වුවත් ධනවත් ව බබති. රුවන් මෙර ඇසුරු කරන හැම සතෙක් ම රන්වන් පැහැය ගන්නා මෙනි.  

170. නිරිඳු කිපුනේ තැනින් - පහව ගැලවෙති නැණැති සුදියෝ
එන සැර පහර දැන - ඉවත පැන ගැලවුනත් සමාවෙත්.

භාවය:- රජතුමා කෝප වූ විට, නැණැති මිනිසුන් වහා එතැනින් පහව ගැලවෙති. ඉස්සරහට එන ඊ පහර දැක ඈතට පැන ගැලවුණ අය හා සමාන වෙති.


171. රජු නඳින බඳුනා - සැරහෙන බුදින ඉදිනා
රජ සිරිති නෙකකුත් - නො කරව් සිතැති ඉඳිනා

භාවය:- රජුන් අඳින, පළඳින, බඳින, සැරසෙන, අනුභව කරන, විඳින විලාසිතාවන්ගෙන් එකක්වත් අනුකරණය නො කරව්.

172. රජුන් සිතතුළ කම් - නො දැන නොමඳව වදන්දෙන්නෝ
නො ඇඳ සිවුසැට විල් - රාජවිල් කෙළනවුන් වැන්නෝ

භාවය:- රජුන්ගේ සිත් තුළ ඇති අදහස් නො දැන ඔහු ඉදිරිපිට වචන ප්‍රකාශ කරන්නෝ කොටු නොමැති ව රාජවිල් ක්‍රීඩාව කරන්නා මෙනි.

ලෝකෝපකාරය

5 comments:

  1. ඇයි තව තියෙන්නේ මැරුණත් ගැහැනුන් ගේ ගුණයක් කියන්න එපා කියලා.
    තම ලිය ගුණ ඇතත් - නො කිය වියතුනි මළත් උන්නත්....

    ReplyDelete
    Replies
    1. ගැඹුරට ම නොකිව්වත්, සමහර දේ එක්ක එකඟ වෙන්න බැරිදෝ කියා සිතුණා..

      Delete
  2. කාලෝචිතයි....................

    ReplyDelete
  3. කාලෝචිත වුනාට මාත්‍රාව ැවඩියි...කවි තුන හතරක් තිබුන නම් අති වගේ..

    ReplyDelete
  4. ඒ කාලයේ තිබුන දේශපාලන වටපිටාව එලකිරි වගේ කවියා විග්‍රහ කරනවනේ.පරන ඒවත් හොයාගෙන කියවන්න හිතුනා..........................

    ReplyDelete