Thursday, July 25, 2013
මතක මිණිවර මිණි කැටයම්
'අපූර්ව' මෙන් මගේ හද අඳුරු කුටියක ගුලි වෙමින් තිබෙයි. අද හැන්දෑවේ ඇයත් නික්ම ගොස් තිබිණි.. 'මළගමට සහභාගි වන්න එනවාදැයි' ගමෙන් කතා කොට මගෙන් විමසීය.
ඒ මිය ගියේ ඇය නොවේ.. මගේ මුළු මහත් ළමා කාලය ය... පිච්ච මලක සුවඳ මෙන් දමුණු දම් පෑය මෙන් දිදුල වූ මගේ අති විචිත්‍ර ළමා කාලය ය. මා මෙසේ පණ පිටින් මිහිදන් ව ඇත්තේ කෙසේද? මගේ ළමා කාලයේ මාහැඟි සොඳුරු නිර්මාණකරුවන් මට පෙර මෙසේ පලා යන්නේ කෙසේද?
කුඩා කාලයේ මට ලියන්නට අවැසි නොවිණි. විටින් විට ලියූ නවකතා කිහිපය ද ගම ගැන ලියූ ඒවා නොවේ. ඒ වෙනුවට මම හදවත කිති කැවූ ප්‍රීතියක් ගස්, ගල්, කඳු, නිම්න, කෙත්, බඩවැටි, ගල් පර්වත මැදින් සිය රිදී පැහැ සේලය එළමින් ගමන් ගිය ගල ඔය සහ එ අදර නිරහංකාර දිවි පෙවෙතක් ගත කළ මිනිසුන් ඇසුරෙහි භුක්ති වින්ඳෙමි. මේ මොහොතේ ද එය මට මතක ලෝකයක විසිතුරු කුසුම් ගොන්නක් සිප ගන්නාක් මෙන් ඉඹ ආඝ්‍රහණය කළ හැකි ය. ගසින් කොළින් මලින් විසිතුරු වූ ඒ සුන්දර ලෝකය මගේ අභ්‍යන්තර අරටුව යි; සෞන්දර්යයේ ගංගාව යි.
ඇය ද එහි කොටස්කාරියකි. ඇය සෑම සවසක ම අප නිවස වෙත පැමිණියේ පලා ගොන්නක්, මිහිරි ඵලයක් රැගෙන එන්නට අමතක නොකරමිනි. ආලින්දයේ හිඳ තේ බොමින් මගේ (නික්ම ගොස් පසුගිය ජූනි මසට අවුරුද්දක් ගත වූ) ආදරණීය ආච්චිඅම්මා සමඟින් නන් පුරාවෘත්ත, කවි කතා බෙදා ගත් රසාලිප්ත හෝරාවන් මගේ ඇස් අදරින් මතු ව නික්ම යයි. එය වචනවලට හසු කළ නොහැක්කකි. හදවතකට මැ හසු කළ හැක්කකි. ඈ කියූ කවි, කතා, හොල්මන් කතා ඇසීමට මා දැක්වුවේ මහත් අභිරුචියකි.
ඈ සහ මගේ ආච්චිඅම්මා සමඟ මම කෙතෙහි අපූරු සවස් වරුවන් ගත කර ඇත. අසල සුන්දර දිය ඇල්ලකින් මධ්‍යහ්නයේ ස්නානය කිරීම ඇතැම් විට පුරුද්දක් ව මා එහි යන විට ඇය ද පැමිණෙන්නීය. ඒ දිනක් මා දැක නැති පලා වර්ගයක් ගස උඩ පැල යට වූ බඩවැටියෙන් ඈ මා වෙත නෙළා දුන්නී ය. 'වහුපෝටා' වැනි නමකින් යුතු වූ එය එදින මහත් රසවත් භෝජනයක් විය.
ඇගේ ලස්සන මල් මල් චීත්ත පවා මට තව ම මතක ය. නිල් පැහැ රෝස මලින් යුත් රුසිරු චීත්ත රෙද්දක් ඇයට තිබිණි. ඇය ද මගේ මතකයේ මිණිවර මිණි කැටයමක් ය.
පසු කලෙක ඔවුන් තුළ වූ මහත් දැනුම් සම්භාරය මතු පරපුර උදෙසා සුරක්ෂණය කළ යුතු යැයි මා සිතුව ද ඒ වන විට මා පමා වැඩි විය. ඔවුහු ශාරීරික ශක්තියෙන් දුබල ව සිටියහ. සරසවියෙන් නික්ම ගමෙහි ගත කළ අවදියේ මා ඇය බැලීමට ගොස් ඇගේ ඇඳුම් ආදිය පිරිසිදු කර දී පැමිණියෙමි. ඒ හැර ඇය මා තුළ නිමැ වූ දෙය ඇයට පෙරළා දෙන්නට කාලය විසින් හා සෙසු සාධක විසින් ඉඩ නොතැබිණි. ගිය මස ආච්චිඅම්මාගේ අවුරුද්දේ බණට හා දානයට ඇයට සහභාගි වන්නට ඉඩ ලැබිණි. රාත්‍රියේ බණ දේශනා කළේ වෑගම පිරිවනෙහි ඉගෙනුම ලබන ගිරාඳුරුකෝට්ටේ ගම වූ කුඩා හිමි නමකි. එය කුඩා හිමි නමක විසින් වදාරන ලද අසිරිමත් බණක් විය. හිතේ ශක්තිය පෙරට ගෙන ඇය කුඩා හිමි නම ඉදිරියේ වැඳ වැටුණා ය. රාත්‍රී බණට ඇගේ ධෛර්යය ද විෂය කොට ගනු ලැබිණ.
මට ඇගේ කටහඬ යළි අසන්නට බැරි ය. මගේ ආච්චිඅම්මා ද මට යළි දකින්න්ට බැරි ය. තවත් ඛේදවාචකයක් තිබේ. මා සමඟ මගේ ළමා කල ගත කළ, කෙළි දෙලින් පසු වූ මගේ වයසේ සහ මට බාල අය ද අඩු වයසින් ම යන්නට ගොස් තිබීම ය. මා සමඟ සිය අක්කා සමඟ බෝල ගසන්නට, ඔයෙහි සෙල්ලම් කරන්නට පැමිණි දිස්න මල්ලී යන්නට ගොස් බොහෝ කල් ය. මා හා එකතු වී ගමේ ළමා සමාජය ඇරඹූ, පාඩම් කිරීමට රැයෙහි අප නිවසට ආ මට වඩා මඳක් වයසැති කාන්ති නැන්දා ද යන්නට ගොස් ය. ගමෙහි මා දැන සිටි බොහෝ බොහෝ දෙනා යන්නට ගොස් ය. මට මහත් අසරණකමක් දැනේ. මගේ ජීවිතයේ මට සදා දීප්ත මැණික් වන්නේ ඔවුන් මිස පසු කලෙක හමුවුණු නොයෙක් පදවි, පට්ටාන්තර ඇති මිනිස්සු නොවෙත්.
ඔවුන් සමඟ වෙල්ලස්සේ ඉතිහාසයක් ද නික්ම ගොස් ඇත. මගේ ළමා විය ද මිහිදන් ව ගොස් ඇත.
එහෙත්, අප යළි හමුවෙතැයි මම බලාපොරොත්තු වෙමි.
Labels:
කඳු හිතිවිලි
Subscribe to:
Post Comments (Atom)
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි.හමුවීම යනු වෙන්වීමක ආරම්භයමය.
ReplyDeleteදුක් වීම සැපයකි. එය ශක්තියක් වෙයි දවසක. ඒත් ඔබ කිව් ආකාරයට ඒ දැනුම උකහාගන්නට හැකි උනි නම් කොයි තරං වටනේද?? සුභ ගමන් ඇයට..
ReplyDelete