Wednesday, April 10, 2013

මහරහතුන් වැඩි මග ඔස්සේ : ඔබ මාරයාව තැතිගන්වන්න [ උපුටා ගැනීම - දිවයින ඉරිදා සංග්‍රහය - ඉන්ද්‍රජිත් සුබසිංහ]



මේ ජීවිතය තුළදීම නිවීම සාක්‍ෂාත් කරගැනීම සඳහා වෙහෙසෙන භික්‍ෂුවකට නිදහස්‌ පරිසරය අත්‍යවශ්‍යය. නිදහසට එක අර්ථයක්‌ දිය නොහැක. ලෞකික. ලෝකෝත්තර වුවමනාවන් අනුව නිදහසේ අර්ථය වෙනස්‌ වෙයි. කෙනෙක්‌ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ගුරු පත්වීම්, රජයේ රැකියාව,
දේශපාලනය නිදහස ලෙස දකියි. මේ කිසිත් වරදක්‌ නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටීන්ය. එහෙත් ඒ ලොව්තුරා නිර්වාණ ප්‍රතිපදාව නොවේ. මෙහි සඳහන් කරුණු අදාළ වන්නේ ශාසනයේ හික්‌මෙන ළමා තරුණ භික්‍ෂූන් වහන්සේලා හට නොව, ජීවිතාවබෝධයෙන් ලෞකික සම්පත් දුක බව දැක, මේ සියල්ල තුළින් රැස්‌වන්නේ දුකම බව දැක, ගිහිබැමිවලින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිදීමේ ජීවිතයේදීම නිවීම සාක්‍ෂාත් කරගැනීමට ප්‍රතිපදාවේ යෙදෙන වීර්යවන්තයන්ටය. මෙවැනි සත් පුරුෂයන් විශාල පිරිසක්‌ මේ ශාසනයේ සිටින බව සත්‍යයකි. ඒ මග යන්න ඔබ රුචිනම් ඔබටද මග විවෘතය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබට නිවැරදි මග කියාදී ඇත. නිදහස අර්ථවත් වීමට ඔබ මෙසේ සිතිය යුතුය. මා පැවිදි වූයේ අනුනට බණ කීමට, පිරිත් කීමට, පන්සල් ආරණ්‍ය පාලනය කිරීමට, නායක හිමිනමකගේ ඊළඟ උරුමක්‌කාරයා වීමට නොව, දිව්‍ය බ්‍රහ්ම සංඥ වැඩීවීමට නොව මේ ආත්මයේදීම නිවන් මග පරිපූර්ණ කරගැනීමට බව සිතීමට ඔබට ශක්‌තිය තිබිය යුතුය.

ලොව්තුරා බුදු වදනට අනුව නිදහස යනු මෙසේ සිතන්නට හැකිවීමයි. මාරයාගේ ධර්මය අනුව නිදහස යනු මීට විරුද්ධය සිතීමයි.

බුදු පුතකු ලෙස මුලින්ම ඔබට නිවීම ඇත්තේ බුදුරජාණන් වහන්සේ ළඟවත්, පිරිත් පොතේ, ත්‍රිපිටකයේ හෝ නොව තමා තුළම බව සිතිය යුතුය. ඉහත කිසිවක්‌ තුළ නිවීම නොමැත. දැනුම, ආදර්ශ, මාර්ගය ඉහත කරුණු කාරණා තුළ ඇත. ඒ ගැන තර්කයක්‌ නොමැත. ඔබ ධර්මය ඉගෙනීමට පොතපතට යොමු වුවහොත් ඊළඟට සිදුවන්නේ දැනුම, පණ්‌ඩිතභාවය වැඩිවී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පැවැත්වීමට යැමය. එසේ නොමැති නම් මිහිරි ස්‌වරයෙන් බුදුමැදුරට, බෝ මළුවට කොටුවී පූජාවන් පැවැත්වීමටය. ගිහි දායකයෝ මේවාට ඉතා ප්‍රියයි. භික්‌ෂූන්වහන්සේටද ලැබෙන ලකුණු, ජනප්‍රියභාවය, සැලකිලි ඉහළය. දෙපාර්ශ්වයටම වැඩෙන්නේ ලෞකික කෙලෙස්‌ ධර්මයන්ය. ඒවා සංසාරික සැප පිණිස හේතුවේ. අවසානයේ සියලු දේ අතහැර පැවිදිවූ හාමුදුරුවෝ දායක පිංවතුන් සතුටු කරන රූකඩයකි. මෙහිදී ඔබ දක්‍ෂ විය යුතුයි සියල්ල අතහැරීමට. හැබැයි ඔබට වඩා දක්‍ෂ මාර්ගය වැඩූ කල්‍යාණ මිත්‍රයන් ඔබ ආශ්‍රය කළ යුතුය. ඔබ එය මගහරින්න එපා, ඔබ ශක්‌තිමත් තැනකට එනතුරාවට, නිරතුරුවම ඔබ ඉදිරියේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව, සැරියුත් මහෝත්තමයන්, මුගලන් මහෝත්තමයන් ඔබ ඉදිරියේ වැඩ සිටින බව, ඔබට අවවාද දෙන බව ඔබ සිතන්න, දකින්න, මීට වඩා ආරක්‍ෂාවක්‌ අවශ්‍ය නෑ ඔබට.මෙම ගමනේදී, ඔබට හැමෝම කියාවී රැස්‌කරන්න කියලා. මොනවද? දැනුම, ගාථා පිරිත්, සූත්‍ර, අභිධර්ම, බණ... මේ සියල්ල ඔබ අතහරින්න, ඔබ සැහැල්ලුවන්න. හැම බරකින්ම නිදහස්‌වන්න උත්සාහ ගන්න. නිවීම කියන්නේ මෙහෙයුමක්‌. මේ මෙහෙයුමට ඔබට අවශ්‍ය වන්නේ තුන් සිවුරත්, පාත්‍රයත්, හුදෙකලා වන කුටියත් පමණයි. ඔබ ශීලයෙන් සමාධියෙන් පරිපූර්ණ බවට පත්ව ඇති බව ඔබට විශ්වාසනම්, ඔබගේ ශීලය ගැන ඔබට කුකුසක්‌ නොමැතිනම්, වනයේ හුදෙකලා කුටියක්‌ තෝරාගැනීමට ඔබ සුදුස්‌සෙක්‌. ඔබගේ ශීලය ගැන ඔබට විශ්වාසයක්‌ නොමැතිනම් වනයේ කුටියක හුදෙකලා වීමට ඉක්‌මන් නොවිය යුතුය. ඔබ ශක්‌තිමත් නොවීම මාරයාට ගොදුරකි. වනයේදී ගල්කුටියේදී අමනුෂ්‍යයන් ඔබව වහලෙක්‌, රෝගියෙක්‌, මානසික ලෙඩෙක්‌ කරනු ඇත. ඔබ පසුබට නොවන්න. මගවැඩූ කල්‍යාණ මිත්‍රයකුට කෙටි කමටහන් කිහිපයකින් ඔබව ශක්‌තිමත් කිරීමට හැකියාව ඇත. මෙහිදී ශීලය යනු ඔබ සාමණේරද, උපසම්පදාද, මොන නායක ස්‌වාමීන්වහන්සේගේ ගෝලයෙක්‌ද, යන්න නොව, ඔබ නිවැරැදි බවට ඔබ තුළ ඇති විශ්වාසය පමණි. ලොව්තුරා ධර්මය කෙරෙහි, ඔබ කෙරෙහි ඔබ විශ්වාසය තබන්න. අවශ්‍ය වේලාවට කල්‍යාණ මිත්‍රයකුගෙන්, ගුරුවරයකුගෙන් අවශ්‍ය උපදෙස්‌ ලබාගන්න.

තමාගේ ආරක්‍ෂාවට අවශ්‍යම මොහොතේදී පමණක්‌ භාවිතයට තෙරුවන් වඳින ගාථා තුනක්‌,කරණීයමෙත්ත සූත්‍රයත්, කන්ද පිරිතත් ඔබ අර්ථ වශයෙන් දැන සිටියොත්, එය හොඳටම ප්‍රමාණවත්ය. ඉතිරි සියල්ල ඔබ අතහරින්න, අත්හැරීමේ ප්‍රමාණයට ඔබට නිවන් මග වැඩීම පහසුකරගත හැක. අන් සියල්ල ඔබ අතහැරීමට දක්‍ෂ වූයේ නම් පමණක්‌, ඔබ දැන් නිවන් මෙහෙයුමට සූදානම්ය. හැබැයි මේ වන විට ඔබ ළඟ පාවිච්චියට මුහුණ බලන කණ්‌ණාඩියක්‌, උණුවතුර බෝතලයක්‌, ශීතලට පොරොවන පෙරෝනයක්‌, මේ වගේ දේවල් තිබුණොත් ඔබ තවම සූදානම් නොමැති බවයි පෙනෙන්නේ. මොකද මේ සියල්ල තුළ තිබෙන්නේ "මගේ කයේ සැප" පිළිබඳ චේතනාවයි. සියල්ල අතහරින්න. එතෙක්‌ ඔබ සූදානම් නොමැත. මුහුණ බලන කණ්‌ණාඩිය අතහැරීමට බැරි කෙනකුට කය අතහැරීමට කීම විහිළුවකි. අනිවාර්යයෙන්ම ඔබට හැකිය. ඔබ නැවත නැවත බුදු සමිඳුන් සිතින් මවාගන්න. ඔබේ හදවතට වඩම්මවාගන්න. නිරතුරුව ඔබ උන්වහන්සේගේ සෙවණෙහි සිටින බව දකින්න. ඔබ හිමිදිරියේ පිණ්‌ඩපාතය වඩින විට ඔබ ඉදිරියෙන් බුදු සමිඳුන් වඩිනා බව දකින්න. සැරියුත්, මුගලන්, ආනන්ද මහෝත්තමයන් වහන්සේලා සිතින් මවාගෙන ඒ උතුමන් සමඟ සිතින් ජීවත්වන්න. උන්වහන්සේලා සමඟ හදවතින් මුමුණන්න. උන්වහන්සේලාගේ ඇවැතුම් පැවැතුම් ඔබේ ජීවිතයට එක්‌කරගන්න. උන්වහන්සේලා නිවන් අවබෝධ කරගැනීමට ගත් වෙර වීරිය මනසින් දකින්න. චක්‌ඛුපාල මහරහතන් වහන්සේගේ උත්සාහය සිතින් මවාගන්න. ඉහත උපක්‍රම භාවිතකොට ඔබ නිවන් මෙහෙයුමට සිත පුරුදු කරගන්න. මාර බැමි එකිනෙක කඩාදමමින්ද, අත්හළයුතු දේවල් අත්හරිමින්ද ඔබ සූදානම් වන්න. හැබැයි ඔබ ලෝකයා ඉදිරියේ රහතන් වහන්සේ කෙනකු ලෙස හැසිරෙන්න එපා. එවිට ඔබ වැටෙන්නේ මාරයාගේ මල්ලටය. ස්‌වභාවධර්මයත් ඔබත් දෙකක්‌ නොව එකක්‌ බවට පරිවර්තනය කරගන්න දක්‍ෂවන්න, ඔබ ඉදිරියේ තිබෙනා රූස්‌ස ගසත් ඔබේ කයත් සංසන්දනය කොට බලන්න. දෙකම ධාතූන්ගේ විවිධත්වය පමණක්‌ බව දකින්න. ඔබ නැවතත් හිතන්න, ඔබ තවම මඟ වැඩීමට සූදානම් වන භික්‍ෂුවක්‌ පමණයි. ඔබ හැකිතාක්‌ විවේකීව සිටින්න. දිනකට මෙච්චර වේලා භාවනා කළ යුතුයි, රාත්‍රි නිදිවරා භාවනා කළ යුතුයි යන සිතිවිලි අනිත්‍ය වශයෙන් දැක අයින් කරන්න. ඔබ අධිෂ්ඨානයක්‌ ඇතිකරගන්න. මා ප්‍රාර්ථනා කරන්නේ, වීර්ය වඩන්නේ මාගේ අවසන් හුස්‌ම මේ කයෙන් පිටවන මොහොතේ කිසිම ඇලීමක්‌, බැඳීමක්‌, ගැටීමක්‌ නැතිව පිටකිරීමට පමණක්‌ බව සිහිකරන්න. මොන හේතුවක්‌ නිසාවත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ග ඵල ගැන නොසිතන්න. ඒවා කෙළෙස්‌ ධර්මයන් බව සිතන්න. මාර්ගඵල වලට ඇති ආශාව අතහරින්න. ඔබ මාර්ග ඵල තණ්‌හාවෙන් අනාගාමී වීමට ගියහොත් ඔබේ වටිනා ජීවිතය “අනාගන්නා” බව සිතන්න. විවේකීව සිතන්න. නිදිමතනම් නිදාගන්න. සරළව, පහසුව, නිදහස්‌ව සිටින්න. ඔබ මේ ආකාරයේ ප්‍රතිපදාවක යෙදෙන බව කිසිවෙකුට නොහඟවන්න. ඉන්ද්‍රියයන් හයට ඵස්‌ස වන සෑම රූපයක්‌ම අනිත්‍ය වශයෙන් දකිමින්, සිතත්, කයත්, පරිසරයත් සමග නොගැටී සිතන්න. ඔබ නිරතුරුවම සිතන්න, ඔබ මේ සටන් කරන්නේ මාරයා සමඟ බව. ඔබට අවශ්‍ය සෑම වේලාවකම මාරයාව රවට්‌ටන්න. බිය ගන්වන්න. තැති ගන්වන්න. ඔබට මුලින් කීවනේ අරිහත් උතුමන් සමග මනසින් ජීවත්වන්නටය කියලා. ඒ මාරයාව රවට්‌ටවන්න කරන දේවල්. දැන් ඔබ මාරයාව තැති ගන්වන්න. ඒ අරිහත් උතුමන්ද අනිත්‍ය බව දකින්න. ඒ උතුමන්ගේ පිරිනිවීම මනසින් දකින්න. එම ධාතූන් වහන්සේලාගෙන් ගොඩනැගුණු ස්‌ථූපයන් දකින්න. ඒ ද විනාශ වන බව මනසින් දකින්න.

දැන් නැවතත් ඔබ මාරයාව රවට්‌ටන්න. රුවන්වැලි මහාසෑය, කිරිවෙහෙර මහාසෑය, ජයසිරිමා බෝ සමිඳාණන්, දන්ත ධාතූන් වහන්සේ සිතින් මවාගෙන සාධුකාර දෙන්න. දැන් නැවත මාරයාව තැතිගන්වන්න. ඉහත වන්දනීය පූජනීය වස්‌තූන්ද කාලගුණික, දේශගුණික, යුදමය හේතූන් නිසා විනාශ වී යනවා දකින්න. මේ සියල්ලේම අනිත්‍ය බව දකිමින් ඔබේ ආධිපත්‍යය මාරයා මත ටිකෙන් ටික පටවන්න. ලෝක ධාතුවේ හැමදෙයකම අනිත්‍යය ඔබ මනසින් දැක මාරයාව කම්පා කරවන්න. තැතිගන්වන්න. දැන් ඔබේ රාජකාරිය මෙයම විය යුතුය. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක සිට ඔබව මුළා කරමින්ද, සතර අපායට, මනුෂ්‍ය, දිව්‍ය ලෝකවලට ගාල් කරමින්ද, ඔබ කෙරෙහි ආධිපත්‍යය පැතිරූ මාරයාට ටික ටික රිදවන්න. බොක්‌සිං තරගයකදී ප්‍රතිමල්ලවයාට සෙමින් සෙමින් පහරදෙමින්ද, උපක්‍රමශීලීව පහරදෙමින්ද ප්‍රතිමල්ලවයා හෙම්බත්කොට අවසාන මරු පහර කිහිපයකින් ඔහුව බිම දමන්නා සේ, ඔබද මාරයාව උපක්‍රමශීලීව රවට්‌ටන්න. ඔබේ ඉන්ද්‍රියයන්ට ගෝචර වන සෑම රූපයක්‌ම අනිත්‍ය වශයෙන් දකින්න. දකින රූප මගහරින්න එපා. රූප බලෙන් සොයා යන්නත් එපා. ඔබ වේගවත් ද මන්දගාමීද නොවන්න. ඔබේ ස්‌වභාවය තුළම ඔබ කටයුතු කරන්න. දැන් මොන මාර්ගඵලයකද ඉන්නේ, තව කොච්චර කල් යයිද? මට පුළුවන් වෙයිද?... මේ මාර සිත් ඇතිවන මොහොතේම අනිත්‍ය වශයෙන් දැක පරාජය කරන්න. ගැටෙන්න එපා. රූපයක්‌ දුටු සැණින් එය අනිත්‍ය වශයෙන් දකින්න. නැවත නැවත එම රූපයට ඇලීමක්‌ ඔබ තුළ ඇතිවන්නේ එම රූපය විනිවිද දකින්නට උත්සාහගන්න. එහෙම කළොත් ඔබේ ප්‍රතිඵල ඉක්‌මන් වේවි. අදාළ රූපය සුරූපී කාන්තා රුවක්‌ කියා සිතන්න. ඔබ ඇය මව්කුසේ සිටිනවා දකින්න. ඉස්‌ගෙඩියෙක් ලෙසින් පටන්ගෙන, නව මාසයක්‌ බැලුම් බෝලයක්‌ වැනි මව්කුසේ විඳි අනන්ත වේදනා, මර ළතෝනි දීගෙන ලෝකයට බිහිවන, මළ මුත්‍රා ගොඩේ දඟලන ළදරු වයස...ළමා, තරුණ, මධ්‍යම, මහලු වශයෙන් එම රූපය දකින්න. ඔබ දුටු ලස්‌සන රූපය ඇටසැකිල්ලක්‌ කර දකින්න. එම ඇටසැකිල්ල බඩවැල්, නහර, මස්‌ එල්ලාගෙන සිටින ස්‌වභාවය දකින්න. ඔහුගේ හෝ ඇයගේ රූපය මනසින් නිරුවත්කොට සම්, මස්‌, නහර විනිවිද ගොස්‌, සම නමැති උරයට පුරවා ඇති ජරාගොඩ දකින්න. ලස්‌සන තිබුණේ සුරූපී ඇය තුළ හෝ ඔහු තුළ නොව, තමාගේ අවිද්‍යාවෙන් පිරුණු අනිත්‍ය වන සිත තුළ බව සිහිනුවණින් දකින්න. පංච උපාදානස්‌කන්ධය, සප්ත බොඡඣඞග, පටිච්ච සමුප්පාදය, සතර සතිපට්‌ඨානය ධර්මතාවන් ගිරවුන් මෙන් කටපාඩම් කරන දේවල් නොව, ඔබ, රූපයේ අනිත්‍ය බව දකිමින්, ප්‍රඥාවෙන් තීව්‍රර වන විට ඔබ ලබන අවබෝධය තුළ නොදැනුවත්වම ඔබට වැඩෙන්නේ ඉහත ධර්මතාවන් බව සිතන්න.

ඔබ තවම සිටින්නේ පුහුණු මට්‌ටමකය. තවම තරගය පටන් ගත්තේ නැත. තවම ඔබ තරගයට මුහුණ දීමට ඇඟ උණුසුම් කරනවාය. ශක්‌තිමත්ව උණුසුම් වන තරමට තරගයට ජවය ලැබේ. මෙය මුළු ලෝක ධාතුව තුළම තම ආධිපත්‍යය පතුරුවාගෙන සිටින මාරයාට එරෙහිව කරන සටනකි. තරගයකි. තරගයෙන් ඔබ දිනුවොත් ඔබ ලෝකයෙන් එතෙරට යන කෙනෙක්‌ය. ඔබ මේ යෙදී සිටින්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා, අරිහත් උතුමන් උත්තමාවියන් තරගකොට ජයගත් තරගයකටය. මේ තරගයෙන් රාහුල, සෝපාක, නිග්‍රෝධ වැනි  දරුවන්ද ජයගෙන ඇත. පටාචාරා, ඉසිදාසි වැනි කාන්තාවන්ද ජයගෙන ඇත. පුහුණුව සාර්ථක නම් ජයග්‍රහණය ස්‌ථිරය.

ඔබ සරළ වන්න. සැහැල්ලු වන්න. නිදහස්‌ව සිටින්න. අවශ්‍ය වේලාවේදී පැන් පහසු වන්න. පොරවන සිවුර දහඩිය ගඳ නම් සෝදාගන්න. කුටිය මිදුල පිරිසිදුව තබාගන්න. අනිත්‍ය දකිනවා කියා අපිරිසිදුකම ළඟට නොගන්න. අනිත්‍ය දකිනවා කියා ඔබ අපිරිසිදුකම ළඟට ගන්නේ නම් ඔබ දකින්නේ මුස්‌පේන්තු අනිත්‍යයකි. එය මාර බලයකි. ඔබ එය පරාජය කරන්න. ඔබ මධ්‍යස්‌ථ වන්න. අසුභය දැකීමට නම් සාපේක්‍ෂව ලස්‌සන සහ පිරිසිදු බව තිබිය යුතුය. ඒ ලස්‌සනට නොඇලීමට ලස්‌සන ඔබේ කර නොගැනීමට ඔබ ශක්‌තිමත් විය යුතුය. මේ ලෝකයේ සියලුම  ලස්‌සන රූප ඔබේ කමටහන් විය යුතුය. හින්දි සිනමාවේ සුරූපීම නිළියත් වැඳිරියක්‌, ඇටසැකිල්ලක්‌ සේ දැකීමට ඔබට හැකි විය යුතුය. ඒ අවස්‌ථාව ඔබට ලැබුණේ ඇය සුරූපී වූ නිසාය. ලස්‌සන නොමැති ලොවක ඔබට අසුභය වැඩිය නොහැක. අවලස්‌සන බවට යමක්‌ පත්වන්නේ ලස්‌සන තිබුණහොත්ය. මන්ද ලස්‌සන අනිත්‍ය වී අවලස්‌සන ඇතිවන බැවිනි. මේවා ලෝකයේ ස්‌වභාවයන්ය. ඔබ මෙසේ අවංකව, වීර්යවන්තව ප්‍රතිපදාවේ යෙදී සිටින විට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබේ හදවතට වඩීවි. මොකද දැන් ඔබේ හදවත හැබෑ බුදුකුටියක්‌ නිසා. උන්වහන්සේ ඔබට
කියාදෙනු ඇත. ඊළඟට ගතයුතු මඟ සංඥා වශයෙන් ඔබට වැටහෙනු ඇත. මෙවිට ඔබ සද්ධන්ත හස්‌තිරාජයෙකු සේ වීර්යයෙන් නැඟී සිටීවි. ඇයි දන්නවද? ඔබට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් වැටහෙනවා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ වැඩසිටින බව. ඔබට කමටහන් දෙන බව ඔබට  වැටහේවි. මෙහිදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහ නිවන් මඟ යනු දෙකක්‌ නොව එකක්‌ බව ඔබට වැටහේවී. නිවන් මඟ වඩන්න. බුදු සමිඳාණන් දකින්න. මේ විශ්වාසය තුළ ජයග්‍රහණයේ දොරටුව ඇත. ඔබගේ උත්සාහයෙන් එය විවෘත කරගන්න. ඔබ දොරටුව විවෘත කර ගතහොත් ලෝකය තුළ ඔබ නිවෙනු ඇත. එවිට දෑස්‌ පියාගත් සැණින් මුළු ලෝකයම නිරුද්ධ කර දැකීමට ඔබට හැකිය. ඔබට මේ ගමනේදී බුදුසමිඳුන්වත් අට්‌ඨික සංඥාවෙන් දැකීමට සිදු වනු ඇත. එයට ඔබ ශක්‌තිමත් වනතුරු කලබල නොවන්න. තවමත් ඔබට උන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍යය. එතෙක්‌ ඔබ බුදුරජාණන් වහන්සේ මනසින් ඔබේ ආරක්‍ෂකයා වශයෙන් වැඩමවා ගන්න දක්‍ෂ වන්න. නිසි වේලාව පැමිණි විට ඔබගේ ශාස්‌තෘන්වහන්සේද අතහරින්න ඔබට අනිවාර්යයෙන්ම සිදු වේවි. මන්ද උන්වහන්සේ තුළද සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොවන බව ඔබට අවබෝධ වන නිසාය.

උපුටා ගැනීම - දිවයින ඉරිදා සංග්‍රහය - ඉන්ද්‍රජිත් සුබසිංහ

4 comments:

  1. http://www.facebook.com/maharahatunvadimaga

    ReplyDelete
  2. කල්පනාකාරීව කියවන්න.. භාග්‍යවතුන් වහන්සේගේ "මහාපොදේශ" දේශනාවට අනුව, සුස්ත්‍රයෙහි බැසගන්නේද, විනයෙහි ගැලපෙන්නේද? යන්න සොයා බලන්න.

    ReplyDelete
  3. මෙය පල කිරීමට ඔබ ගත් වෙහෙසට ගොඩක් ස්තුතියි....!
    අන්තර්ගතය පිළිබද පසුව අදහස් දක්වන්නම්

    ReplyDelete
  4. ඉතාම අගනා ලිපියක් මෙහි මට ඉතා වැදගත් වූ බොහෝ කරුණු ඇතුලත් ව තිබුනා ස්තුතියි...

    ReplyDelete