Thursday, October 11, 2012

රිය සක ගෙන ගිය අම්මා

අපෙ අම්මා අහසට පුන් සඳාණෝ
ගිනියම් කතරට වැහි දිය බිඳාණෝ
පුරු වන් කෙතකට නිල වැව් රදාණෝ
දුකඳුරු පිරි මිහිකත දැරු මවාණෝ

ඇස'ගින් වියැට නෙළා රැගෙන කෙතක වපුරවන්නේ
මිරිඟුව මුල ඉසිඹුව ලන දිවිය අකුරු කරන්නේ
දුක සැප ගිරි'තර ලියැවුණු සම සිත් හිරු දරන්නේ
සංසාරෙන් එතෙරට යන ගඟ අම්මා මවන්නේ

වෙල් නියරෙන් වෙල් නියරට ඇය අතැඟිලි වසින්නේ
දිය කඩකින් දිය කඩකට ඇය දහදිය ගලන්නේ
මල් දියවුණු එක රෙදිකඩ ඇදකුරු නොම තකන්නේ
අපෙ අම්මා විල් දහසක පිපි සියපත නොවන්නේ

කුසට බතක් තනනු පිණිස ඉනට පලා නෙළන්නා
කිහිරඟුරේ ගිනි නගරේ සිහිලස වපුරවන්නා
හවස හිනා ගෙට ගෙනෙනා සුර සම්පත කියන්නා
අපෙ අම්මා ගෙන ගිය රිය සක හතරේ යකින්නා

සංසාරේ රිය රෝදේ දිගට ම කැරකුණාදෝ
පන් මල්ලෙන් විසිරුණු මල් නුඹෙ නැවතුම කියාදෝ
දුවේ කියා අමතන්නට යළි අම්මා නො ඒදෝ
ගෙයි මිදුලේ මල් පල වැල් යළි කවිවැල් ලියාදෝ

4 comments:

  1. මේක නම් මාරයි ,,නංගි. හරිම ලස්සනයි, ඒවගේම නිර්මාණශීලියි. යටි පෙළෙන් කියවෙන ගැඹුර....? .මට වෙස්සන්තරේ මතක් කරා. දිගටම ලියන්න ..සුබපතනවා. ඔන්න මම ඔබව මගේ සින්ඩිකේටරය ඇතුළ් කරා නිර්මාණ කියන ප්‍රවර්ගය යටතේ. දිගටම ලියන්න.

    ReplyDelete
  2. මගේ මරණයගේ මූණුපොතේ ස්ටේටස් එකට කොමෙන්ට් එකක් ඔබෙන් වැටෙද්දි යටි හිත කිව්වා මේ බ්ලොග් එකෙන් ඒ කතාව මෙහෙම ලියවේවි කියලා..!
    අම්මලා ඉන්න ගොඩක් අය එතැන හිටියට ඒ වෙලාවේදී හැසිරිලා තියෙන්නේ උන් අම්මලා ගෙන් උත්පාද නොවුන ගාණට.., ඒ කෑ ගැහිල්ල මේක කියනකොට මගේ කන් අතරේ දෝංකාර දෙනවා දෙනවා වගේ..!
    මේ කවිය එහෙම එකක් ගැන නොවුනත්.., මට දැනෙන්නේ ඒ සංවේදනාව..! ස්තූතියි..!

    ReplyDelete
  3. කවි කියන්නේ අපේ සංවේදනාවන් තමයි කඳු. ඒ ගැන පසුතැවිය යුතු නෑ. බලන්නකෝ අපේ ජනකවි. --ජාතිත් අපේ මවු පියො වාසනාවන්- එහෙමනේ කියන්නේ. මම අර උඩ කවි දෙක මුලින් කියෙව්වෙ නෑ. අළුතින්ද දැම්මේ. මේ කවි සිව්පද විරිතට ලියවිලා තිබෙන හින්දා මාත්‍රා ඒකමිතිය ගැන සැලකිලිමත් වුණා නම් හොදයි කියලා මට හිතෙනවා කඳු. අර පළවෙනි කවියේ ඒක පොඩ්ඩක් ගිලිහිලා. බලන්න මෙහෙම හොද නැද්ද කියලා

    අපෙ අම්මා අහසට පුන් සඳාණෝ
    ගිනි කතරට වට වැහි දිය බිඳාණෝ
    පුරු වන් කෙතට අධිපති වැව් රදාණෝ
    දුකඳුරු පිරි මිහිකත දැරු මවාණෝ

    අමනාප වෙන්න එපා ,,මට හැගුණෙ එහෙමයි.

    ReplyDelete
  4. අම්ම කියන්නෙ මේ මහ පොළොව... ඉහට ඉහලින් තියෙන අහස.. ඒ අහසටත් පොළොවටත් මැදිවෙලා ඉන්න අපිට අම්මගේ ගුණ වචන වලට පෙරලලා කවදා ඉවර කරන්නද...

    පද ටික හරිම ලස්සනයි

    ReplyDelete