Monday, September 24, 2012

එහෙව් අම්මාගේ කවිය මෙලොව මට ලිවිය නොහී කවිය ය

අප්පච්චී නික්ම ගිය දින
සත් දිනට පස්සේ
මා ගෙයින් බැස එන විට
ගෙයි ඉස්සරහ වතු දෙස
අම්මා බලා හිටි හිස් බැල්ම
කිසි දා ලියා ගත නොහැකි
කවිය යි මට

මා ඉගෙන ගත් එක
මහ වරදෙකියි දැනෙයි මට
ආපසු ගමට යා නොහැකි ලෙස
මා දෙපා ඇලවි සඳ නගරෙට
වමතැඟිල්ලක සිර වූ රන් මුදුව හා
මහ බරට හැදි සහතික කන්ද
මේ දෙක ම අතහැර යුතු ය
යළි යාමට නම් ගමට
ඒත් අම්මා සතුටු වනු නැත
එසේ නම් දෛවයද මේ
අම්මාගේත් මගේත් වෙන්වීම

මට උගැන්වීමෙන්
අම්මා ලද දෙයක් නැත
අම්මා ම දුන් ගුණ නිසා
සල්ලිකාරියක විය නොහිණි මට
'ඔයාට තමයි බැරි සල්ලි ගන්න'
අම්මා හිනාවෙයි විට විට
'ඔයාට වඩා මං පෝසත්නෙ'
අම්මා කියයි හැම විට
කරගැට සපිරැඟිලි දිගු කොට

වෙල් දහසක් අස්වද්දන්නට
අව්වෙන් ම හෙවණ ලැබ
රෑ තිස්සේ ද තනි ව ම
වතුර කඩ රැක සිට
මටත් හාල් මිටි බැඳ බැඳ
බසයේ දමා එවන්නීය
අම්මා

තනි ව ම පරපුරක උරුමය
මුර කරන හෙටට දෙනු පිණිස
එහෙව් අම්මාගේ කවිය
මෙලොව මට ලිවිය නොහී කවිය ය

No comments:

Post a Comment