Saturday, May 3, 2014

හුදෙකලා නිවසක හුදෙකලාව



කිසිත් නොකර ගෙදරට වී පසු වීම එතරම් ම පහසු නැත. එක්කෝ මේ අඳුරු වැහි කෝඩය යටින් මා ගාලු පාර වෙත හෝ ඇවිද යා යුතු ය. එවිට මට කුඩා සුළං රැල්ලක් පානය කළ හැක.

මගේ කවුළුවෙන් එපිට කෘත්‍රිම ජල වෑහුමකින් වෑහෙන ජලය දිය දහරාවක් ගලා යන්නාක් මෙන් සවන් මත පතිත වෙයි. ජනේලයෙන් එපිට කුඩා මැද මිදුලට වී සිටින නම නොදන්නා පැළ කිහිපයක් යාන්තමට පියාපත් සොලවයි. පරම සැපයැයි කිව හැකි සියලු දේ ළඟ තබා ගෙන මම අසීමිත හුදෙකලාවකින් හා කම්මැලිකමකින් වෙළී සිටිමි.

පෙර රැකියාව කළ කාලයේ කතන්දර ලිවීම පිණිස මහත් උමතුවක් පැවතිය 'මුත් දැන් පෑන යගදාවක් තරම් බර ව තිබේ. සතුට දනවන කුඩා රැකියාවක් හෝ කිරීම මැනවැයි සිතෙන නමුත් එවැනි රැකියා අභව්‍ය නිසාවෙන් එවැන්නක් නොසොයාම සිටිමි. ගේ ඇතුළට වී විසිත්ත කාමරයෙන් නිදන කාමරයටත් නිදන කාමරයෙන් කියවන කාමරයටත් ඉන් මුළුතැන් ගෙයටත් විටින් විට ගෙයින් පිටතටත් ඇවිද යාම මගේ දෛනික රාජකාරියයි.

එකල දුම්රියේ කොණක වාඩි වී යන අතරේත් මම කුඩා කතන්දර හා කවි කුරුටු ගෑවෙමි. දැන් මට ලියන්නට එවැනි කිසිවක් නොවේ. ලියන හැම අකුරක් ම මහත් කෘත්‍රිම භාවයකින් යුතු වෙයි.

එහෙත් මේ මා පැතූ ජීවිතයකි. බැල්මකින් හෝ හිත රිදවන්නට මෙහි කිසිවෙක් නොවේ. දැන් මට මා කැමති කැමති විදිහට ජීවත් විය හැකි ය. විස්මිත සහ සුන්දර මිනිසෙකු විය හැකි ය. එහෙත් ඊටත් කලින්, එසේ වන්නේ කෙසේදැයි සොයා ගත යුතු ය.

Picture - Rob Hefferan

13 comments:

  1. ඔබ තුමිය ගැනමද?? කවියක් ඇරුනම මේ විදියෙ අදහස්ක් කියෙව්වමයි මං ඔබේ අඩවියෙන්.

    ReplyDelete
    Replies
    1. කඳු කතා, කඳු හිතිවිලිවල තියෙන්නෙ කවි නොවෙන දේවල් + මිත්‍රයා, මං කැමති නැහැ 'තුමියක්' වෙන්න :)

      Delete
    2. අනේ ඉතිං අපේ නීතීඥතුමියනේ. එහෙම නොකිය කොහොමද. හරි හරි කමක් නෑ, වෙන මොකක් හරි ආමන්ත්‍රණයක් හොයාගන්නම්කො.

      Delete
    3. මේ ලෝකෙ එක එක වෘත්තීන් තියෙනවනේ.. ඒවා එක එක මට්ටම්වලට දාල වර්ග කරල තියෙන්නේ කවුරුද? ඒ හැම වෘත්තියක්ම එක සමානයි කියලයි මම හිතන්නේ.. මිනිස්සු වෙනස්වෙන්නේ ගතිගුණවලින්.. මිනිස්සු ඉහළ-පහළ වෙන නිර්ණායකය වෙන්නත් ඕනෑ ඒ ගතිගුණමයි. හැම මිනිසෙක්ටම අපි ගරුත්වයෙන් සලකන්න ඕනෑ කියන එක වෙනම කාරණයක්.

      මිනිස්සු හැමෝම හැමදාම උසාවියට යන් නෑ.. රෝහලට යන් නෑ.. ඒත්, මගේ ගෙදර කුණු එකතුකරගෙන යන ට්‍රැක්ටරය දවසක් ඇර දවසක්වත් නොආවොත් ඒක හරිම කරදරයක්. ඒ කියන්නේ, ඒ රාජකාරිය කරන මිනිසුන් කරන්නේ මට දෛනික ජීවිතය නිසි පරිදි පවත්වාගෙන යන්න ඉතා වැදගත් වෙන රාජකාරියක්. නමුත්, කවුරුවත් ඒ අයට තුමා/තුමිය කියන් නෑ.. ඒක වෙන්නේ කොහොමද කියල මට තේරෙන් නෑ.. ඉතා උසස් ගතිගුණ තියෙන මිනිස්සු එතැන ඉන්න පුළුවන්. ඔවුන් නිසි ලෙස රාජකාරිය ඉටුකිරීමම වැදගත් ගුණයක්.

      ඉතින් මම කියන්නේ, මේ රටේත්, ලෝකෙත් එක්තරා වෘත්තීන් පමණක් උස්සලා තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු වන අපි අපිමයි. මම නම් මනුස්සයන්ට මිස වෘත්තීන්වලට වෙනස් වෙනස් ආකාරයෙන් සලකන්නේ නැහැ.. එහෙම කළාම අවසානයේ ඒකෙ වාසිය ගන්නෙත් එක්තරා කට්ට කෛරාටික මිනිස්සු කොට්ඨාසයක් පමණයි.

      Delete
    4. ඔය හැමදේම මමත් තේරුම් අරන් ඉන්නෙ. ඒත් අප ජීවත්වෙන සමාජය තුල ඉන්න බහුතරයක් දෙනා ඒක තවම තේරුම් අරන් නෑනෙ. ඒ නිසා කාටවත් සිත් රිදවීමක් ඇතිනොවෙන්න වචන භාවිතා කිරීම තමා මගේ පුරුද්ද. අපි මේ හීන මවන සමාජය දැන්ම ලංකාවෙ ඇතිවෙන එකක් නෑ. ඒත් අපෙන් පස්සෙ පරම්පරාවට හරි ඒ දේ උරුමකරල දෙන්න පුංචිහරි දෙයක් අපිට කරන්න පුලුවන්නම් ඒක තමා වටිනාකම. උස් මිටිකම්, ලොකු පොඩි, කුල මල, ආගම් ජාති බේදයක් නැති ලස්සන සමාජයක්, හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන, හැමෝටම ලස්සනට ජීවත් වෙන්න පුලුවන්, එකිනෙකාට ගරු කරන සුන්දර ලෝකයක් ගොඩනැගෙනතාක් නොනවතින අරගලයක් කරන්න අපි හැමෝටම යුතුකමකටත් වඩා වගකීමක් තියෙනවා. සමාජයේ ඉහළින්ම පිළිගන්න වෘත්තියක නි‍යැලෙන ඔබ වගේ කෙනෙක් මෙතරම් නිහතමානීව ලෝකය දැකීම ඒ යන ගමනට පෙරමඟ සුබ නිමිත්තක්. නිර්මාණය විය යුත්තේ මෙයයි.

      Delete
  2. විශ්මිත හා සුන්දරව හිතන්න නම් ජීවිතය සරලව විදින්න...... අසීමිත ශක්තිය...... විශ්ව ශක්තිය ඔබට ලැබේවි......

    ReplyDelete
  3. අලස සුවය විඳිනු මැන...අලස සුවය විඳිනු මැන...:)

    ReplyDelete
  4. අවසානෙයේදී බිදුනු සිතින් යුතුව මෙහි පැමිණ අප සොයනු එපා.. හැක්..

    ටිකක් ඔහොම ඉන්න විසේ අඩු වෙනකං..

    ReplyDelete
  5. //විස්මිත සහ සුන්දර මිනිසෙකු විය හැකි ය. එහෙත් ඊටත් කලින්, එසේ වන්නේ කෙසේදැයි සොයා ගත යුතු ය//
    අමුතුවෙන් සොයන්නට වෙහෙසෙන්න එපා. ඔබ තුලින් අප දකින සුන්දර හා විශ්මිත බව තේරුම් ගන්නවානම් ඇති .

    ReplyDelete