Thursday, February 27, 2014

ප්‍රහේළිකාව සහ ගණිතඥයා..




ලෝක ප්‍රසිද්ධ ගණිතඥයෙක් දවසක් වෙළෙඳසලකට ගොඩ වුණා. ඒ තම පුතුගේ උපන් දිනයට එයාට දෙන්න තෑග්ගක් ගන්න. ඔහු නොයෙක් දේ තේරුව. ඔහුට අවශ්‍ය වෙලා තිබුණේ තම පුතා තමන්ටත් වඩා ඉහළ මට්ටමේ ‘ගැටලු විසඳන්නෙක්’ බවට පත් කරන්න. ඒ නිසා එයට සරිලන, ඒ හැකියාව වර්ධනය වෙන ආකාරයේ යමක් මිල දී ගන්නයි ඔහු උත්සාහ කළේ. ඒත් ඔහුගේ හිතට සෑහෙන යමක් තෝරාගන්න බැරි වුණා. ඔහු වෙහෙසට පත් වුණා. කේන්තිත් ආව.

අන්තිමේදී වෙළෙඳ සේවකයා පසෙකට කැඳවූ ගණිතඥයා තම අවශ්‍යතාව ගැන ඔහුට කීවා. ඔහු ඉතාම ඉක්මනින් යමක් ගෙනත් ගණිතඥයා අත තැබුවා. “සර්, මේක නම් සර්ගෙ පුතාට කදිම තෑග්ගක් වේවි” ඔහු කීවා. ඒ ජිග්සෝ ප්‍රහේලිකාවක් (Jigsaw puzzle). එය අතට ගත් ගණිතඥයා එය විසඳන්න උත්සාහ කළා. බොහෝ වේලා එයට උත්සාහ කළත් බැරි වුණා. දැන් සාප්පුවට ආපු අයත් වෙළෙඳසල් හිමියාත් ඇතුළු බොහෝ දෙනෙක් ගණිතඥයා ගැන බලාපොරොත්තු සහගතව බලා සිටිනවා. ඒ අයත් සිතුවා ඔහු ප්‍රසිද්ධ ගණිතඥයෙක් නිසා මේකට සම්පූර්ණ විසඳුමක් ඉදිරිපත් කරයි කියල. විශේෂයෙන් සාප්පු හිමියා බොහෝ සතුටෙන් බලාපොරොත්තු සහගතව සිටියා. එහෙම වුණොත් ‘විසඳුම් වෙළෙඳාමත්’ තමන්ට කරන්න පුළුවන් නිසා.

අන්තිමේ ගණිතඥයා වෙහෙසට පත් වෙලා ලජ්ජාවට පත් වෙලා කේන්තියෙන් වෙළෙඳ සේවකයාට මෙහෙම කීවා: “මටවත් විසඳන්න බැරි මේක මගේ පුතා කොහොමද විසඳන්නේ මිනිහෝ?” එසේ කියමින් ඔහු එය කේන්තියෙන් වෙළෙඳ සේවකයා අත තබා යන්න සූදානම් වුණා. එවිට ඉතා සතුටින් ගණිතඥයාව නැවැත්වූ වෙළෙඳ සේවකයා මෙහෙම කීවා: “සර්! ඔබ එය විසඳුවා! මෙය මිලට ගත් අයගෙන් ඔබ විතරයි එය විසඳුවේ!” ගණිතඥයා ඇතුළු හැමෝම ආයෙත් ‘ගණිත ගැටලුවකට’ මැදි වුණා. එවිට වෙළෙඳ සේවකයා මෙහෙම කීවා:

“සර්, මේක හදල තියෙන්නෙම සම්පූර්ණ විසඳුමක් ගන්න බැරි විදිහටයි. තාවකාලිකව එක් එක් පැතිවල විසඳුම් එනව. ඒ නිසා මිල දී ගන්න හැමෝම හිතනව මෙය සම්පූර්ණයෙන් විසඳන්න පුළුවන් වේවි කියල. එහෙම හිතල මිල දී ගන්නව. ඒ අය හිතනව මේක විසඳන්න පුළුවන් එකක් කියල; විසඳන්න උත්සාහ කළාම තමන්ගේ දරුවෝ ගණිතඥයෝ දාර්ශනිකයෝ විද්‍යාඥයෝ දේශපාලනඥයෝ බවට පත් වෙනව කියල. ඇත්තටම එහෙම වෙනවා. මොකද: ඔවුන් කිසිවකුට මේක විසඳන්න බැරි නිසා. ඔවුන් ප්‍රශ්න විසඳන අය නොවෙයි නේ! ඉතින් මේක කවදාවත් කරන්න බෑ. අන්තිමේ ඒ අය වෙහෙස වෙලා කේන්ති අරගෙන එක්කෝ මේක නිපදවපු අයට බණිනවා; නැත් නම් විකුණන අයට බැණවදිනවා. බැණවැදිල වෙනත් තැනකින් අලුත් එකක් මිල දී ගන්නව. ඒව හදන්නෙත් එකම කොම්පැනියෙන්. හැඩය හා සැකැස්ම විතරයි වෙනස්. අපේ වෙළෙඳාම දිගටම කෙරෙනව.”

ගණිතඥයාට තවත් කේන්ති ගියා. “එහෙම අමන බඩු තමුසෙල විකුණන්නේ ඇයි?” ඔහු කේන්තියෙන් ඇහුව. එවිට වෙළෙඳ සේවකයා ඉතා යටහත්- පහත්ව මෙහෙම කීවා: “සර්, ජිග්සෝ ප්‍රහේලිකාවක් කියන්නේම සියලු පැති විසඳන්න බැරි එකක්. එක පැත්තක් විසඳනකොට ඒ වෙනස් කිරීම නිසාම අනෙක් පැත්ත අවුල් වෙනව. ඉතින් කවදාවත් මෙහි ඇති සියලු පැති විසඳන්න බැහැ.” “ඉතිං අමනයෝ! එහෙම එකකින් ඇති වැඩි මොකද්ද?” ගණිතඥයාට හොඳටම කේන්ති ගිහින් ඇහුව.මේ වේලාවේ වෙළෙඳසල් හිමියාටත් කේන්ති ගියා. මොකද: තමන්ගේ ජිග්සෝ වෙළෙඳාමට මෙයින් හානියක් වෙන්න පුළුවන් නිසා. එය තේරුම්ගත් වෙළෙඳ සේවකයා ගණිතඥයාව පසෙකට රැගෙන ගිහින් මෙය තේරුම් කර දෙන්න උත්සාහ කළා:

“සර්, මේකෙන් කියන්නේ ජීවිතය ගැන. ජීවිතය විසඳන්න පුළුවන් එකක් නොවෙයි. එක ගැටලුවක් විසඳන විට අනෙක අවුල් වෙනව. නමුත් අපි හිතනව සියල්ල විසඳන්න පුළුවන් කියල. දිගටම උත්සාහ කරනව. අපි පරාජය වෙන්න කැමති නෑ. බලාපොරොත්තු කඩ වෙනවා; වෙහෙසෙනවා; නමුත් අත්හරින්නේ නෑ. මේ උත්සාහයේදී මේක ගෙවිල කැඩිල යනව. ඉතින් ඒ අය ඇවිත් අලුත් එකක් ගන්නව. ආයෙත් උත්සාහ කරනවා. එච්චරයි. මේක විසඳන්න බැරි එකක් කියල තේරුම් ගන්නේ නෑ. එක පැත්තක් හරි යන විට බලාපොරොත්තු ඇති වෙනවා. අනෙක් පැත්ත බලපුවහම ඒ පැත්ත අවුල් වෙලා. එය විසඳන්න උත්සාහ කරනවා. එතකොට කලින් විසඳපු පැත්ත අවුල් වෙලා. මේ තත්ත්වය තේරුම් ගන්න තමයි මේක හදල තියෙන්නේ. ඒත් කවුරුවත් තේරුම් ගන්නේ නැති නිසා අපේ ‘ජිග්සෝ’ හැමදාම විකිණෙනවා.”

ගණිතඥයා මඳක් කල්පනාවට වැටුණා. ටික වෙලාවකට පස්සේ ඔහු වෙළෙඳ සේවකයා දෙසට හැරී මෙහෙම කීවා: “දරුව, මට ජිග්සෝ පහක්ම දෙන්න.” ජිග්සෝ ගන්න ආපු අයටත් වෙළෙඳසල් හිමියාටත් පුදුම හිතුණා. “එන්න සර් රාක්කෙ ළඟට. අපි ළඟ විවිධ වර්ගවල ලස්සන ලස්සන ඒවා තියෙනව. සර්ම තෝරගන්න. මං උදව් කරන්නං.” ඔහු ගණිතඥයාව ජිග්සෝ රාක්කය ළඟට එක්කරගෙන ගියා. ඒත් දැන් ඔහුත් ගැටලුවකට පත් වෙලා. ජිග්සෝ තෝරන ගමන් ඔහු ගණිතඥයාගෙන් මෙහෙම ඇහුවා: “ඇයි සර් ජිග්සෝ පහක්ම ගන්නේ?” ගණිතඥයා මෙහෙම කීවා: “එකක් මගේ පුතාට. එයා මං තරම් කාලයක් අනවශ්‍ය දේවලට ජීවිතය නාස්ති කරගන්නවට මං කැමති නෑ. අනෙක මගේ නෝනට. කවදාවත් කිසිම දේකින් සතුටු නොවෙන එයාට මේක හොඳම තෑග්ගක්. අනෙක අපේ නැන්දම්මට. මැරෙන්න කලින් එයා මේක තේරුම් ගත්තොත් එයා මට දීපු තෑග්ගට මට ලොකු ප්‍රතිඋපකාරයක් කරන්න පුළුවන් වුණා වෙනව. අනෙක මගේ විශ්වවිද්‍යාලයේ මගෙන් ඉගෙනගන්න දක්ෂම ගණිත ශිෂ්‍යයාට. උගේ බලාපොරොත්තුව මටත් වඩා ප්‍රසිද්ධ ගණිතඥයෙක් වෙන්න. අපරාදෙ අහිංසකයා!” කියල ගණිතඥයා ජිග්සෝ තෝරන්න පටන් ගත්ත.

වෙළෙඳ සේවකයාට කුතූහලයක් ඇති වුණා පස්වැනි එක ගැන. ඔහු මෙහෙම ඇහුවා: “එතකොට සර්, අනෙක කාටද?” “ඒක තමුසෙට,” ගණිතඥයා කීවා. වෙළෙඳ සේවකයා යළිත් ගණිත ගැටලුවකට පත් වුණා. එවිට ගණිතඥයා කෘතඥතා පූර්වකව මෙහෙම කීවා: “ තමුසේ මගේ ගුරුවරයා! ජීවිතය ගැන මට ඉගැන්නුවෙ තමුසෙ. තමුසෙට මට දෙන්න පුළුවන් උසස්ම ගුරු පඬුර මේක.” වෙළෙඳ සේවකයා එය ඉතා සතුටින් අතට ගත්තා.

ගණිතඥයා ජිග්සෝ පහක්ම මිල දී ගන්නා අන්දම දුටු සෙසු අයත් කිසිම සැකයක් නැතිව ජිග්සෝ මිල දී ගත්තා. මොකද: ඒ අය හිතුව මේවා විසඳන්න පුළුවන් ඒවා කියල. ජිග්සෝ පහක්ම මිල දී ගැනීම ගැන වෙළෙඳසල් හිමියා නම් ගොඩක් සතුටු වුණා. ඔහු හිස නමා ගණිතඥයාට ආචාර කළා.

මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම මනුෂ්‍යයා ජීවිතය ගත්තේ ගැටලුවක් ලෙසින්. ඒ නිසා ඔහු එය විසඳීමට උත්සාහ කළා; විවිධ දාර්ශනිකයන් සකස් කර දුන් ‘පාට කණ්ණාඩිවලින්’ ජීවිතය දිහා බලන්න පුරුදු වුණා. එහෙත් ජීවිතය නිවැරැදිව පෙනුණේ නෑ. විවිධ ගණිතඥයන් සකස් කරදුන් ‘එකතු කිරීම්’ ‘අඩු කිරීම්’ ‘වැඩි කිරීම්’ ‘බෙදීම්’ යොදා බැලුව නමුත් ජීවිතයට හොඳ උත්තරයක් ලැබුණේ නැහැ. හොඳටම වෙහෙසුණා විතරයි. අදත් එහෙමයි. සමහරු හිතුවා උත්තරයක් ලැබෙන්නේ නැත්තේ පාවිච්චි කරන ‘පෑන්’ ‘පැන්සල්’ ‘කෝදු’ ‘මාන’ ආදියේ දෝෂයක් නිසා කියල. ඒ නිසා ඒ අය අලුතින් ‘පෑන්’ ‘පැන්සල්’ ‘කෝදු’ ‘මාන’ සකස් කළා. එයින් වුණේ තවත් ගැටලු ගොඩක් එකතු වීම පමණයි.

ඇතැම් අය හිතුව උත්තරය නොලැබෙන්නේ ගැටලුවේ දෝෂයක් හේතුවෙන් කියල. ඒ නිසා ඒ අය ගණන අලුතින්ම සකස් කරල දෙන්නත් උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස දාර්ශනිකයන් ආගමික නායකයන් දේශපාලනඥයන් අතින් තවත් ‘ගණිත ගැටලු’ රාශියක් අලුතින් බිහි වුණා. සිදු වුණේ උත්තරය ගම්‍ය කරගැනීමට තවත් දුෂ්කර වීමයි.

මේ අතර ලෝකයේ එක් මනුෂ්‍යයෙක් ජීවිතය චිත්‍රයක් ලෙසින් දැක්ක. ඔහු රෙදි කඩක් හැඳගත් රෙදි කඩක් පෙරවාගත් අනුන්ගෙන් යමක් ඉල්ලාගෙන ජීවත් වූ ‘අසරණ’ හා ‘අහිංසක’ මනුෂ්‍යයෙක්. සෙසු මනුෂ්‍යයන්ට වගේම මුලින් ඔහුටත් ජීවිතය ගැටලුවක් ලෙස පෙනුණා. ඔහු මේ ජීවිත චිත්‍රය ඉදිරියේ වාඩි වී පැය ගණන් දවස් ගණන් සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් එය නිරීක්ෂණය කළා; එය හොඳින් අත්වින්ද. ඔහුගේඅතේ ‘පින්සල්’ (මතවාද) හෝ ‘වර්ණ’ (කෙලෙස්) හෝ තිබුණේ නෑ. ඒ නිසා ඔහු ඒ චිත්‍රය පින්සල්වලින් හා වර්ණවලින් තමන්ට අවශ්‍ය විදිහට හැඩගන්වන්න උත්සාහ කළේ නැහැ. ඒ නිසා ඔහු අතින් චිත්‍රය විකෘති වුණේ නැහැ.

මෙසේ චිත්‍රය ඉදිරියේ ඉඳන් වසර ගණනක් එය නිරීක්ෂණය කළ ඔහු එහි ඇති වර්ණ හැඩතල රේඛා රිද්ම මැනවින් හඳුනාගත්තා. එහි කිසිවක් අඩුවෙන් හෝ වැඩියෙන් නැති බවත් එය අවශ්‍ය සියලු වර්ණ හැඩතල රිද්ම රේඛාවලින් අනූන සුන්දර චිත්‍රයක් බවත් දුටුවා; ජීවිතයේ ඇති තතු දුටුවා. චිත්‍රය ගැන අලුතින් යමක් කරන්න ඔහුට තිබුණේ නැහැ; අවශ්‍ය වුණෙත් නෑ. අන්තිමේ ඔහු තේරුම් ගත්ත මෙය ගැටලුවක් නොව චිත්‍රයක් බව; මේ චිත්‍රය කිසිවකු විසින් අඳින ලද එකක් නොවන බව. ඒ නිසා මේ චිත්‍රයට අයිතිකරුවෙක් හෝ ‘චිත්‍ර ශිල්පියෙක්’ නැති බවත් ඔහු තේරුම් ගත්ත. කළ යුත්තේ මෙය විකෘති කිරීමකින් තොරව රසවිඳීම බවත් ඔහු තේරුම් ගත්ත.

9-3තමන් චිත්‍රය ගැන තේරුම් ගත්ත දේ ඔහු මිනිසුන්ට කීව. බොහෝ දෙනෙක් පිළිගත්තේ නෑ. අදත් එහෙමයි. මිනිස්සු ඇහුව චිත්‍රය ගැන එහෙම කියන්න ඔහුට ඇති සුදුසුකම් මොනවද කියල. ඔබට චිත්‍ර ගැන තිබෙන උපාධි මොනවද? ඔබේ චිත්‍ර ගුරුවරයා කවුද? ඔබේ චිත්‍ර ඇකඩමිය මොකද්ද? ඔබ චිත්‍ර කීයක් ඇඳල තිබෙනවද? චිත්‍ර ප්‍රදර්ශන කීයක් කරල තිබෙනවද? ඒවාට ලැබිච්ච සම්මාන මොනවද? කියල. මේවට ඔහුට උත්තර නෑ. ඔහු මෙහෙම කීව: “මට ගුරුවරයෙක් නෑ. මම ඇකඩමියකට ගියේ නෑ. එ චිත්‍රයෙන්මයි මම ඉගෙනගත්තේ. මම චිත්‍ර අලුතින් අඳින කෙනෙක් නෙවෙයි. චිත්‍ර අලුතින් අඳින්න බෑ. ඇන්දොත් චිත්‍රයක් වෙන්නේ නෑ. චිත්‍ර ප්‍රදර්ශන කිරීම චිත්‍රය තේරුම්ගන්න බාධාවක්. ඒ නිසා මැදිහත් වීමක් නැතිව චිත්‍රය විඳින්න. එවිට එය අවබෝධ වේවි. එහෙමයි මම එය අවබෝධ කරගත්තේ.” ඔහු තමන් ජීවිත චිත්‍රය ගැන දත් සියල්ල මෙසේ පද්‍ය තුනකින් හකුළුවා කීව.

සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

අප කරන සියලු සකස් කිරීම් (මානසික චිත්‍ර හා ඒ ඇසුරෙන් ගොඩනගන දේ) හේතු-පල දහමට අනුව සිදු වන දේ ය. ඒවා ස්ථිරව නොපවතී. මේ තත්ත්වය අවබෝධ කළ හොත් එවිට ඒ සකස් කිරීම් (සංඛාර) පිළිබඳ පවතින ඇලුම්-ගැටුම් සිඳී යයි. එවිට ඒ ඇලුම්-ගැටුම්වල පලයක් වශයෙන් මතු වූ සියලු පෙළීම්ද නතර වේ; පෙළීම් නිසා ඇති වූ සියලු අපිරිසිදු භාවයන්ද දුරු වේ.

සබ්බේ සංඛාරා දුක්ඛාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

අප කරන සියලු සකස් කිරීම් (මානසික චිත්‍ර හා ඒ ඇසුරෙන් ගොඩනගන දේ) ආපසු අපේ පෙළීමට (දුකට) මුල් වේ. ඒ සකස් කළ දේවල් ස්ථිර නැත; වෙනස් වේ. මෙය අවබෝධ කළ හොත් එවිට ඒවා පිළිබඳ පවතින ඇලුම්-ගැටුම් සිඳී යයි. එවිට ඒ ඇලුම්-ගැටුම්වල පලයක් වශයෙන් මතු වූ සියලු පෙළීම්ද නතර වේ; පෙළීම් නිසා ඇති වූ සියලු අපිරිසිදු භාවයන් ද දුරු වේ.

සබ්බේ ධම්මා අනත්තාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

සියලු ස්වභාවයන් (නිවනද ඇතුළත්ව) අපේ පාලනයෙන් තොරය. මෙය අවබෝධ කළ හොත් එවිට ඒවා පිළිබඳ පවතින ඇලුම්-ගැටුම් සිඳී යයි. එවිට ඒ ඇලුම්-ගැටුම්වල පලයක් වශයෙන් මතු වූ සියලු පෙළීම් ද නතර වේ; සියලු අපිරිසිදු භාවයන් දුරු වේ.

මානව සමාජයේ ඉඳපු ඇතැම් අයට මෙය තේරුණා. තේරුණු අය ජීවිත චිත්‍රය හොඳින් නිරීක්ෂණය කළා; එහි ගැටලුවක් හෝ විසඳිය යුතු විසඳිය හැකි යමක් නැති බව තේරුම් ගත්ත. ඒ තේරුම්ගැනීමත් සමග ඔවුන්ගේ සියලු ගැටලු විසඳුණා. ඇත්ත වශයෙන්ම මෙතෙක් පැවතුණේ මේ චිත්‍රය හොඳින් නිරීක්ෂණය නොකිරීම නිසා මෙය විසඳිය යුතුය, විසඳිය හැකිය යනුවෙන් ඇති කරගත් වැරදි නිගමන බවත් ඒ නිසා මිනිසා විසින් මෙතෙක් කර ඇත්තේ වැරදි නිගමනයන් මත සිට කළ වැරදි ක්‍රියාකාරකම් ටිකක් බවත් ඔවුන්ට තේරුණා. එවිට ජීවිතය සම්බන්ධයෙන් එතෙක් ගොඩනගාගෙන තිබුණු සියලු ගැටලු විසඳුණා. එපමණයි. කෙටියෙන් කීවොත් ජීවිතය කියන්නේ විසඳිය යුත්තක් නොවේ. ඒ බව අවබෝධ කරගත් වහාම සියල්ල විසඳෙනවා.

ජීවිතය ගණිත ගැටලුවක් ලෙස නොගන්න. එවිට ඔබ එය විසඳන්නට උත්සාහ කරාවි. ප්‍රතිඵලය වෙහෙස පමණයි.

ජීවිතය සුන්දර චිත්‍රයක් ලෙස දකින්න. එවිට එහි ඇති වර්ණ රේඛා රිද්ම හැඩතල ඇසුරෙන් ඔබට එය අවබෝධ වේවි; එහි සුන්දරත්වය හොඳින් පෙනේවි; විසඳිය යුත්තක් එහි නැති බවත් පෙනේවි. දෝෂය ඇත්තේ ජීවිතයේ නොවේ. අප ජීවිතය ග්‍රහණය කරගන්නා ආකාරයේ ය. අවශ්‍ය වන්නේ අවබෝධයෙන් ජීවත් වීමයි.

Source - දහම් මණ්ඩපය
Picture - E_J_Paprocki

3 comments:

  1. මාර දාර්ශනිකයි.මිනිස්සු ලෝකය විග්‍රහ කරන්න හදනවා.ඒත් වටහා ගන්න හදනවාද කියන එකනම් ගැටළුවක්.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  2. මෙය කියවා හොඳ අත් දැකීමක් ලැබුවා. බොහොම ස්තුතියි ඔබට.

    ReplyDelete