Monday, September 16, 2013

එන්න මේ කුලී මැඳුරට

By the Arbor

එන්න මේ කුලී මැඳුරට
ගිනෙන් නිර්මුතු
කඳුළු කඩා හැලෙනු ද නැත
ලුණු හා බත් වුව කම් නැත

හී සැර වැදෙයි - මල් පෙති සැලෙයි
අකුරු වුව ඇමිණෙයි
කැණිමඬල ලිහෙයි
උල ලේනි හඬයි
බතත් ලිප රොස් වෙයි

සඳ විරසක වෙයි
මන්දාරම් එයි
අහසින් තරු ගිලිහෙයි
දිය නොමැති ව කතරක
පෙම ද සිඳෙයි
සත්සරය ම වියැකී යයි

ඒ මහල් නිවස අතහැර
එන්න මේ එක කාමරේ කුලී මැඳුරට
ආදරය උණුසුම් ය තව
එක පතට ගෙන විඳින්නට

Picture -
Catherine Wiley, American, 1879 - 1958

11 comments:

  1. ඔබ ගොඩක් පොත් කියවපු කෙනෙක් නේද..? ඔබට ලොකු සාහිත්‍ය එකතුවක් එහෙම ඇති. ඔබේ නිර්මාන තුල මම දකින්නේ "පොත්". ඔබේ අදහස් ඉතාම අනර්ඝයි. නමුත් ඔබේ නිර්මාන භාෂාව කියවන්නාට සමීප මදි වගෙයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පොත් කියවපු, කියවන්න ආස කෙනෙක්... ඒත්, අනිත් අයට සාපේක්ෂ ව ගොඩක් පොත් නොකියවපු කෙනෙක්..

      සාහිත්‍ය එකතුවක් කියා දෙයක් නැහැ... ගන්න ගන්න පොත කාටහරි තෑගි දෙන නිසා හෝ කියවන්න දීල ආපහු නොලැබෙන නිසා... ඒත් කවදාහරි ගෙදර පුස්තකාලයක් ම හදාගන්න කැමතියි..

      ස්තූතියි, අදහස් අනර්ඝද කියා නම් මා දන් නෑ..

      ඔබ හරි, මගේ භාෂාව කියවන්නාට සමීප මදි බවත්, භාෂාවෙන් මගේ ලියමන්වල ඇති ප්‍රසාද ගුණය හීන වී යන බවත් මා හොඳාකාර ව ම අවබෝධ කරගෙන ඉන්නේ..

      ඒත්, අලුත් වචන තනන්න මම කැමතියි.. කවදාවත් කිසිකෙනෙකු භාවිත නොකළ විදිහට වචන වෙන් කරන්න, එක් කරන්න... ඒවා හිතලත් නෙමෙයි කරන්නේ, ඉබේ ම හිතට එන්නේ..

      මා ලිව්වේ කියවන්නා උදෙසා නොවෙයි, කවියෙක්, ලේඛකයෙක් වෙන්නත් නොවෙයි... මා ලිව්වේ හුදු ප්‍රකාශනය සඳහායි... එසේ ප්‍රකාශ කරද්දී, ඒවා අනිත් අයට නොතේරෙන විදිහට ලියන්නයි මුල් කාලයේදී මම කැමති වුණේ...

      භාෂාවට අලුත් යමක් දෙන්න කැමතියි, ඒ දෙය අවශෝෂණය කරගැනීම කියවන කෙනා සතුයි.. එය ග්‍රහණය කරගත්තොත්, නිරමාණයත් ඉබේ ම සමීප වේවි..කියල මම හිතනවා..

      බොහොම ස්තූතියි, ඔබේ අදහස් දැක්වීමට. කැමතියි මෙවැනි විචාරයනට..

      Delete
    2. දෙපාරක් හිතන්න වෙන උත්තරයක්නේ කඳු

      Delete
    3. හ්ම්..
      ඒත්, මහින්ද ප්‍රසාද්ගේ කවි හිත කඩා ගෙන ඇතුළට කඩා වැදෙන්නේ මෙහෙම භාෂාවෙන් කොණ්ඩා සැරසිලි දාලා නැති නිසයි.. ඒ කවි හරි ලස්සනයි.. හැඟීම්බරයි...

      එක එක තේමා අනුවත් බසේ ලස්සන වෙනස් වෙනවනේ..
      සමහර විට, මම මගේ සිතිවිල්ල භාෂාව ඇතුළේ නිදන්ගත කරනවා.. මුල් සිතුවිල්ල හොයාගන්න ම බැරි වෙන්න..

      Delete
    4. මගේ උපකල්පන වැරදී එහෙනම්.මම ඔයවගේ ප්‍රතිචාරයක් දැක්වුවේ ඔබේ කවි තුල ඔබේ සිතිවිලි හොයන්න ගිහින් වෙහෙසට පත් වුන නිසා.

      "අලුත් වචන තනන්න මම කැමතියි.. කවදාවත් කිසිකෙනෙකු භාවිත නොකළ විදිහට වචන වෙන් කරන්න, එක් කරන්න..."

      "මා ලිව්වේ කියවන්නා උදෙසා නොවෙයි, කවියෙක්, ලේඛකයෙක් වෙන්නත් නොවෙයි... මා ලිව්වේ හුදු ප්‍රකාශනය සඳහායි..."

      "මම මගේ සිතිවිල්ල භාෂාව ඇතුළේ නිදන්ගත කරනවා.. මුල් සිතුවිල්ල හොයාගන්න ම බැරි වෙන්න.."

      නියමයි.සුපිරී.ඔබ ඔය විදියටම දිගටම පද බදින්න.වෙනසක් කරන්න.මම ඔබේ ක්‍රමයට කැමතියි.මහන්සි වෙලා හරි රසවිදින්නම්.........

      Delete
  2. හරිම ලෙංගතුයි.

    පිදුරැ සෙවිකළ පැල්පෙතේ ඇති සාමේ නැත මා මන්දිරේ.
    එහි තිබේ හොද ආදරේ...................

    ReplyDelete
  3. වෙන්වුනාම වටින කම වැඩිවෙන
    එක්වුනාම ගොලුවෙන
    කොච්චර තිබුනත් අලුත්වට දැනෙන
    මහාර්ඝ දෙයැකි ආලය..

    ReplyDelete
  4. ලස්සණ යි ලස්සණ යි. මම නම් මේ භාෂාවට කැමති යි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ස්තූතියි..

      Delete