Monday, May 6, 2013

ගමේ බොදුබල සේනාවක් හැදු ටිබෙට් හාමුදුරුවෝ (උපුටාගැනීමකි.)

ගමේ බොදුබල සේනාවක් හැදු ටිබෙට් හාමුදුරුවෝ
2013 මැයි මස 05 14:51:56 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
වේලාව හිමිදිරි 5.00ට පමණ ඇත. බදුල්ල පාලාවත්ත නම්වූ දුෂ්කර ගම්මානයේ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අඩි 40ක් පමණ උසින් බඳින ලද ශබ්දවාහිනී යන්ත‍්‍රය ක‍්‍රියාත්මක වෙයි.
‘‘හැම දෙනාටම බුදුසරණයි’’
ඒ විහාරාධිපති එස්. අමරජෝති හෙවත් ටිබෙට් හිමියන්ගේ හඬයි. ඉක්බිති උන් වහන්සේ පන්සල් බිම ඇමදීම, බුදු කුටිය පිරිසිදු කිරීම, මල් පහන් පූජා කිරීම, බුදුන් වැඳීම සිදු කරන්නාහ.
ඒ කාලය තුළ සෙත් පිරිත් විකාශනය ශබ්දවාහිනි ඔස්සේ සිදුවන්නේය.
යළිත් ඇසෙන්නේ ටිබෙට් හාමුදුරුවන්ගේ කට හඬය.
‘‘අද උදේ 7.00ට පාර ශුද්ධ කිරීමේ ශ‍්‍රමදානය තියෙනවා. රෝගීන් හා කුඩා දරුවන් හැර සියළු දෙනා මෙයට සහභාගීවිය යුතුයි. නොපැමිණෙන අයට දඩය රුපියල් 500යි.’’
මඩොල්සීම කඳුවළල්ලේ වැදී දෝංකාර දෙන එම හඬට සියළු ගම්වැසියන් අවනතය.
මේ හාමුදුරුවන්ගේ ආගමනය ගැන අපි විමසුවෙමු.
‘‘මමත් ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවන්ගේ පරපුරේ කෙනෙක්. එස් කියන්නේ සිකින්. සිකින් මහින්ද. මම සිකින් අමරජෝති.
‘‘මහින්ද හාමුදුරුවන් ගේ කාලේ මම ඉපදිලත් නැහැ. නමුත් උන් වහන්සේගේ රටේ තමයි මම ඉපදුනේ. මගේ තාත්තා යුද හමුදා සෙබළෙක්. අම්මා මිය යනකොට මගේ වයස අවුරුදු 3යි. පස්දෙනෙකුගෙන් යුතු පවුලේ මම බඩපිස්සා’’
‘‘මා පොඩිකාලයේ අනාථ ළමා නිවාසයකට බාර දීලා තිබුණා. ඒ ළමා නිවාසය භාරව සිටියේ එස්. මහින්ද හාමුදුරුවන්ගේ සහෝදරයා. ළමා නිවාසයේ සිටියදීම මම පැවිදිවුණා. මම බටහිර බෙංගාලයේ බිංගුරි ප‍්‍රාන්තයේදී උපසම්පදාව ලැබුවා’’
‘‘උඩරට අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඥානිස්සර නාහිමියන්ගේ ගෝල හාමුදුරුවරු ලෝකයේ හැම තැනකම වගේ ඉන්නවා.  එවැනි ගෝල නමක් වූ  ඕලන්දේ ආනන්ද හාමුදුරුවෝ සිකින් වලදී මට හමුඋනා. උන් වහන්සේ අනාථ නිවාසයේ විස්තර ඇහුවා. ඊට පස්සේ ඇහුවා තායිවානය ට හෝ ශ්‍රී ලංකාවට යන්න කැමතිද කියලා. තාත්තා යුද හමුදාවට බැඳී සේවයකරපු රටක් නිසා මම ශ්‍රී ලංකාවට යන්න කැමතියි කිව්වා.
‘‘මට සිංහල, බෙංගාලි, නේපාල්, චෝ, ටිබෙට්, ලැප්වා යන භාෂා කතා කරන්න පුළුවන්. ඒ සියල්ල මගේ උත්සාහයෙන්ම ඉගෙන ගත් ඒවා. වැඩ කරන ගමන් ධර්ම දේශනා කළා. ඇල්ලේ ආරණ්‍යයේ ඉන්න වෙලාවේ මාතර වලස්ගල පිරිවෙනේ ලොකු හාමුදුරුවෝ මුණ ගැහුණා. උන්වහන්සේ මට ආරාධනා කළා ඒ පිරිවනෙහි සංස්කෘත භාෂාව උගන්වන්න. ඒත් මා ඒ ගැන උනන්දු වුනේ නැහැ. බදුල්ලේ තියෙන පාලාවත්තේ කියන තමන්ගේ ගමේ පන්සල හාමුදුරුවෝ නැතිව වරින් වර වැහිලා යනවා. ඒ නිසා ඒ ගමේ මිනිස්සුන්ට උදවු කරන්න ඒ පන්සල භාර ගන්න කියලා මම බොහෝම කැමැත්තෙන් මෙහාට ආවේ. ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. පන්සල හැදුවොත් පන්සලත් එක්ක එකතු වෙලා මිනිස්සු හැදුණොත් රට දියුණු කරන්න පුළුවන්.
‘‘සිංහලයන් ටිකක් කම්මැලියි’’ ඒත් ඒක නැති කරන හැටි මම දන්නවා’’ කියමින් හාමුදුරුවෝ සිනා සෙද්දී මට මැවී පෙනුනේ මා අසා ඇති එස්. මහින්ද හිමියන්ය.
‘‘මේ ගමේ මිනිස්සුන්ගේ ජීවනෝපාය ගොවිතැන්ය. උක් වගාවට කෘමි රෝගයක් ඇවිත් විනාශ වුණා. දැන් මිනිස්සු ඉතා අසරණ තත්ත්වයක ඉන්නේ. උක් හකුරු කර්මාන්තය වැටිලා. මේ ගමේ තිබුණු කුඩා පරිමාණයේ උක් හකුරු මෝල් 100ක් විතර කැලේට ගිහින්. සමහරු කිතුල් කර්මාන්තය කරනවා. කිතුල් හකුරු මිල වැටිලා. ඒ අය අසරණ වෙලා. මොකක් හරි විකල්පයක් තියෙන්න  ඕනෑ. ජපානයේ හොඳට වැවෙන ශාකයක් තියෙනවා. කොනෆ් කියලා. මේ රටෙත් හොඳට වැවෙයි. ඒ ගහේ කොළ වලින් කඩදාසි කාඞ්බෝඞ් හදන්න පුළුවන්. ගෘහ කර්මාන්තයක් ලෙස හොඳ ආදායම් ලබා ගන්න පුළුවන්. ජපානයේ පිරිසක් ඇවිත් මේ කර්මාන්තය ගැන ජනතාව දැනුවත් කළා. පන්සලෙත් ගස් ටිකක් හැදුවා. ඒවා හොඳට හැදුනා. ඒත් මේ වැඩ පිළිවෙලට ආණ්ඩුවෙන් අවසර අවශ්‍යයි’’.
‘‘මේ ළඟදී ජපානයෙන් තවත් කට්ටියක් ආවා. මම මේ ගමේ මිනිසුන්ගේ උක්වගාවට වූ හානිය පෙන්නුවා. නව ක‍්‍රමයකට උක් හකුරු හැදීමේ වැඩපිළිවෙළක් ගැන ඒ අය යෝජනා කර තිබෙනවා’’.
පන්සල ආසන්නයේ ජීවත්වන ආනන්ද තෙන්නකෝන් මහතා දානය රැගෙන පන්සලට පැමිණ සිටියේය.
ඔහු හාමුදුරුවන් ගැන කතා කළේ දැඩි භක්තියකින් හා අභිමානයකිනි.
‘‘මේ හාමුදුරුවෝ ගමට දෙවි කෙනෙක් වගේ. දුකේදීත් සැපේදීත් දෙකෙහිම හැමුදුරුවෝ අපත් එක්ක ඉන්නවා, මළ ගෙයක් වුණත් ඉස්සල්ලාම වඩින්නේ හාමුදුරුවෝ. ශබ්දවාහිනියෙන් උන්වහන්සේ ගමටම මරණය ගැන දැනුම් දෙනවා. අපි ඉක්මනට පන්සලට යනවා. උන්වහන්සේ ළඟ තියෙන ටෙන්ට් එකයි ජෙනරේටර් එකයි පැදුරු ටිකයි පුටුයි අරගෙන අපි ඔක්කොම මළ ගෙදර යනවා. මළ ගම ඉවත් වෙනකල්ම වෙලාව බෙදාගෙන අපි සියළු වැඩ කරනවා. ‘‘සමහර වෙලාවට හාමුදුරුවෝ කතා කරනකොට තරහා ගියා වගේ පේනවා. අනේ තරහා යන්නෑ.... විහිලූවක් කරලා හිත සනසනවා. වත්තේ පිටියේ කුඹුරේ ශ‍්‍රමාදන වලට උන්වහන්සේ වඩිනවා. හරි හරියට වැඩ කරනවා. වැඩියෙන්ම වඩින්නේ මොකද දන්නවද? ලැයිස්තුවේ නම තිබුණත් සහභාගි නොවන අය කවුරුන්ද කියා බලන්න. ගමේ කාටහරි තුවාලයක් වුණත් දුවන්නේ පන්සලට. හාමුදුරුවෝ තුවාල සුද්ද කරලා සනීප වෙනතෙක් බෙහෙත් කරනවා.’’ රජයේ නිලධාරීන්ගෙන් වැඩ ගන්න මාර දක්‍ෂයි. හැබැයි බොරු කළොත් මූණට දෙසාබානවා. පන්සලට යන පාර බාගෙට හැදුවේ රජයේ කාර්යාලයකින්. රජයේ මුදලින් ඒ මහත්තයා පන්සලට ආ වෙලාවේ උන්වහන්සේ මූණටම කිවුවා මහත්තයා මේ වැඬේ ඉවර කරලා මිසක් ආය පන්සලට එන්න එපා කියලා. උන්වහන්සේ කියන්නේ කාගෙන් වුණත් කමක් නෑ ගමට වැඩ ගන්න කියලා. අර පේන බෝධි ප‍්‍රාකාරය හදන්න සල්ලි තිබුණෙ නැහැ. උන්වහන්සේට කවුදෝ පුජා කරපු වීඩියෝ කැමරාවක්, කම්පියුටර් එකක් ටීවී එකක් තිබුණා. ඒවා විකුණලා ඒ සල්ලි වලින් ප‍්‍රාකාරය හැදුවා.
‘‘ගම් වැසියන් දවස් 5කට බෙදලා පන්සලේ සහ ගමේ ශ‍්‍රමදාන වලට කැඳවනවා. ඒ සියල්ල කරන්නේ ශබ්දවාහිනියෙන්. මහ ශ‍්‍රමදාන දවසට ලෙඞ්ඩු හා කුඩා දරුවන් හැර හැම ගෙදරකින්ම එන්න  ඕන. ඒක අනිවාර්යයි. නැත්නම් රුපියල් 500ක් දඩ ගහනවා. ඒ මුදල් ගමේ වැඩක් පලක් කරන්න බැරි අසරණ අයට ලබා දෙනවා.
 

 
ගමට බෙර කණ්ඩායමක් හදලා පොසොන් පෙරහැර කරනවා. දහම් පාසලේ ගොඩනැගිල්ල කඩා වැටෙන්න ඔන්න මෙන්න. ඒ ශාලාව අලූතින් ඉදිකරන්න ගල් සපයා ගන්න හාමුදුරුවෝ පන්සලේ තිබුණු ගලක් කඩන්න පටන් ගත්තා. හාමුදුරුවෝ කුළුගෙඩිය ඔසවලා ගල් කඩනකොට අපට ලොකු ධෛර්යයක් ආවා. අපි ශ‍්‍රමදානයෙන් ගල් කැඩුවා. දැන් එම ගොඩනැගිල්ල හදලා ඉවරයි’’
‘‘ලක්ෂ 40ක් පමණ වියදම් කළ මේ ගොඩනැගිල්ලට මුදල් උපයා ගන්නත් හාමුදුරුවෝ හුඟාක් මහන්සි වුණා. බුදුගෙයක් ධර්මශාලාවක් ඇතුළු අංගයන්ද එහි තිබෙනවා’’
අපේ කතා බහට විරාමයක් තැබූ මම ආවාසයට ගියෙමි. උන් වහන්සේ යළිත් මයික‍්‍රෆෝනය ඉදිරියේ ‘‘පින්වතුනි සවන් දෙන්න. දැන් මහ ශ‍්‍රමදානය පටන් ගන්න වේලාව කිට්ටුයි. හැම ගෙදරකින්ම පන්සලට එන්න. නැත්නම් රුපියල් 500ක දඩයක්. ගතවූයේ විනාඩි කීපයකි. ගම් වැසි ලොකු පොඩි බාල මහළු හැම දෙනාම පන්සලට ඇදෙන්න වූහ. බෝ මළුව සකස් කිරීමේ ශ‍්‍රමදානය මුල් පස් පිඩැල්ල කැපුවේ හාමුදුරුවන්ය. ඉන්පසු ගම් වැසියන්ගේ දෑත් උදලූ අලවංගු පස් තලන උපකරණ විල් බැරෝ අතරැුඳි යුහුසුළුව ක‍්‍රියාත්මක වෙන අයුරු ඇස් පනාපිටම දැකගත හැකිවිය.
දේශපාලනඥයන් හමුවේ ටිබෙට් හාමුදුරුවන් කරන්නේ ආයාචනා නොව නියෝගයන්ය. ඒ අසරණ ගම්වැසියන්ගේ සුභ සාධනය සඳහාය.
දිනක ටිබෙට් හාමුදුරුවෝ ඌව පළාත් සභාවට ගොඩවැදුනේ වේගයෙනි. එවකට මහ ඇමැතිවරයා වූයේ දැන් වනජීවි ඇමතිවරයා වන ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාය.
මම එවකට ඔහුගේ මාධ්‍ය ලේකම් වරයා වීමි.
මහඇමති ගේ කාමරයට කඩා වැදුණු හාමුදුරුවෝ ‘‘මම අද ආවේ දෙකෙන් එකක් විසඳාගෙන යන්න. මේ මගේ මල්ලේ තියෙන්නේ බෝම්බයක්. ඔබතුමා අපේ ගමේ පාරේ වැඩ කරල දෙනවද, නැතිනම් පළාත් සභාවම පුපුරවන්නද?’’
හාමුදුරුවෝ නොකඩවා කියාගෙන යද්දී මහ ඇමතිතුමා කට පුරා බක බක ගා හිනාඋනේ සුපුරුදු ගැලවිජ්ජා පටිපාටිය පෙන්වමිනි.
‘‘බොරු නොවෙයි මහ ඇමතිතුමා’’ කියා මල්ලට අතදමා වයර් කෑලිවල කොනක් පෙන්නුවේය.
ආනන්ද තෙන්නකෝන්
මහ ඇමතිවරයා වහාම සීනුව නාද කළේය. ‘‘කෝ කෝ මේ නිලධාරීන්ට එන්න කියනවා’’ සැනින් නිලධාරීන් කීපදෙනෙක් ආවෝය ‘‘මේ හාමුදුරුවන්ගේ වැඬේට අද විසඳුමක් දෙන්න  ඕනෑ’’ මහ ඇමති නියෝග කළේය.
හාමුරුවෝ එළියට ආවේ ඉන්පසුවය.
‘‘ඇයි හාමුදුරුවනේ බෝම්බ ගෙනාවේ’’ මම ඇසුවෙමි.
‘‘පිස්සුද මහත්තයා මම ගෙනාවේ මේ වයර කෑලි ටික විතරයි’’ කියමින් හාමුදුරුවෝ මල්ලෙන් වයර් කෑලි කීපයක් පෙන්වමින් හයියෙන් සිනා සුනහ.
‘‘මේ ගමේ පන්සල විතරයි. වෙනත් ආගමික ස්ථාන වලට මේ ගම්මාන වල ඉඩක් නැහැ. මේ ඔක්කොම බුදු හාමුදුරුවන්ගේ ගම්මාන’’ යැයි ටිබෙට් හාමුදුරුවෝ පැවසුවේ පියකරු සිනාවකින් මුව සරසාගනිමිනි.

 

සටහන සහ ඡායාරූප : බදුල්ලේ පාලිත ආරියවංශ

2 comments:

  1. වාසනාවන් මෙවන් හිමිවරු

    ReplyDelete